Kuttiarachchi-admonishes-but-does-not-admit-guilt---others-thought-he-was-wild-but-he-was-not-wild

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහිණී කවිරත්නට අදාළව සිදුකළ අසභ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) උදෑසන පාර්ලිමේන්තුවේ යළිත් උණුසුම් තත්වයක් ඇති විය.
මේ සම්බන්ධයෙන්  කවිරත්න මහත්මිය කථානායකවරයා වෙත යොමුකර තිබූ වරප්‍රසාද පැමිණිල්ල හා කාන්තා මන්ත්‍රී සංසදය යොමු කළ පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් පසුව කථානායකවරයා මේ ගැන තමන් කණගාටුවට පත්වන බව අද පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් කියවූයේය.
මෙවැනි සිදුවීම් ඉදිරියට සිදුනොවීම සඳහා වගබලා ගැනීම ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ යන පාර්ශව දෙකෙහිම සංවිධායකවරුන්ගේ වගකීම බවද දැන්වීය.


එම අවස්ථාවේදී මීට වඩා පියවරක් අවශ්‍ය බව තලතා අතුකෝරල මන්ත්‍රීවරිය මෙන්ම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිනිය දන්වා සිටි නමුත්
මේ සියල්ලන්ට නැවත උත්තර දෙන්නට නැගිටගත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තමන් අත වරදක් නැතැයි දිගින් දිගටම කියා සිටියේය. ඔහු කියා සිටියේ තමා ‘වල් නැති බවත් අනෙක් අය වල් විදිහට හිතනවාට කරන්නට දෙයක්නැති‘ බවත්ය.
ඔහු නැවතත් අභියෝග කරමින් දන්වා සිටියේ තමා එදා කියූ වචනවල අසභ්‍ය යයි සඳහන් වන වචනය කිසිවෙකුට සඳහන් කරන්නට හැකිදැයි අභියෝග කරන බවයි. එවැන්නක් නැති බව කී ඔහු රන්ජන්-හිරුණිකා දුරකථන සංවාද වල මීට වඩා අසභ්‍ය දේ තිබූ බවත් ඒවා ගැන කතා නොකර තමන්ගේ වචනයක් ගැන පමණක් අනවශ්‍ය දෙයක් මතු කර ඇති බවයි.
ඔහු කතාකරන අතර කතානායකවරයා එදා කියූ දේට කණගාටුවන බව දන්වන්නැයි ඉල්ලුවත් ඔහු එසේ නොකළේය.
පාර්ලිමේන්තුවේ කතානායකවරයාත් සෙසු මන්ත්‍රීවරියනුත් ඔහුගේ ප්‍රකාශය හෙළා දැක තිබියදී දිගින්දිගටම තමන් නිර්දෝෂී බව කියමින් නැවතත් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඇතුළු පිරිස පහතට ඇදදමමින් ඔහු කථා කළේය.

අනතුරුව නලින් බන්ඩාර මන්ත්‍රීවරයා කෝපයෙන් ඔහුට දන්වා සිටියේ ‘එම වචන නැවත කියන්නට ලජ්ජා බවත් අසභ්‍ය වචන හඳුනා නොගන්නට තමන් බබ්බු නොවන‘ බවත්ය. කුට්ටිආරච්චි අසුනින් නැගිටුවා යවන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.



අනතුරුව සභාවේ මිනිත්තු පහක පමණ උණුසුම් තත්වයක් ඇතිවූ අතර තිස්සකුට්ටිආරච්චි වෙත අනෙක් පිරිස් ගොස් කිසියම් ආරවුල් සහගත වචන හුවමාරුවක් සිදුවිය. එය සජීවී විකාශයෙන් ඉවත් කර තිබුණි.
අනතුරුව කවිරත්න මහත්මිය නැවතත් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කර තමන් කියූ දේට සාධාරණය නොවූ බව කීවාය. මේ අතර සිද්ධිය වූ දිනයේ සභාවේ මුල් පුටුවේ සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ‘තමන්ට අසභ්‍ය දේ නෑසුණ‘ බවට කළ ප්‍රකාශය ගැන විවේචන පැතිරෙන බවත් ඇත්තටම තමන්ට එදා ඒ දේ නෑසුණ බවත් මුලසුනට ගියවිට හැමතැනින්ම කතාකරන අය නිසා ඇතැම් දේ මග හැරෙන බවත් දන්වා සිටියේය.
සිදුවීම අවස්ථාවේ වීඩියෝව පහතින්

පෙර විස්තරය
තිස්සකුට්ටිආරච්චි වම්බටු සහ රෝහිණී අසැබි සංවාද