where-in-the-body-can-gas-in-the-stomach-cause-pain-what-are-the-home-treatments

ආහාර ගත් පසු උදරයේ ඇතිවන බර ගතිය, නාභිය අවට අපහසුතාව හෝ උදරයේ කුමන හෝ කොටසක හටගන්නා වේදනාව බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ හුදු ‘ගෑස්’ තත්ත්වයක් ලෙසිනි. එහෙත් මේ සෑම අවස්ථාවකදීම ඊට හේතුව ගෑස් පමණක්ම නොවිය හැකිය.

මේ සම්බන්ධව NDTV වෙබ් අඩවියේ ලිපියක් පළව තිබේ. එහි මෙම විස්තර සටහන් වෙයි. 

ඉන්දියාවේ සීකේ බිර්ලා රෝහලේ ආමාශ ආන්ත්‍රවේද අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුකල්ප් ප්‍රකාශ් පෙන්වා දෙන පරිදි, ගෑස් වේදනාව උදරයේ විවිධ ස්ථානවලින් මතුවිය හැකි අතර, ඇතැම් විට එම ලක්ෂණ වෙනත් රෝගාබාධවලට ද බෙහෙවින් සමානකම් දක්වයි. එබැවින් නිතර උදරයේ වේදනාව, බර ගතිය හෝ පිපුරුම් ස්වභාවයක් පවතී නම්, ගෑස් හේතුවෙන් ඇතිවන වේදනාව සාමාන්‍යයෙන් හටගන්නේ කුමන ස්ථානවලද යන්න නිවැරදිව අවබෝධ කර ගැනීම වැදගත් වේ.




ආමාශයේ හෝ ඉහළ ආහාර ජීර්ණ පද්ධතියේ ගෑස් සිරවූ විට, ඉළ ඇටවලට පහළින් පීඩනයක්, බරක් සහ උදරය පිරී ඇති ආකාරයේ හැඟීමක් ඇතිවිය හැකි බව වෛද්‍ය අනුකල්ප් සඳහන් කරයි. මීට අමතරව නිතර ගුඩුස් යෑම, ඔක්කාරය හෝ ආහාර ගැනීමෙන් පසු ඇතිවන අපහසුතාවයන් ද මීට සමගාමීව මතුවිය හැකිය. කෙසේ වෙතත්, ඉහළ උදරයේ නොකඩවා පවතින වේදනාව හුදෙක් ගෑස් තත්ත්වයක් යැයි වරදවා වටහා නොගත යුතුය. එය ආම්ලිකතාවය, ගැස්ට්‍රයිටිස් සහ පිත්තාශය ආශ්‍රිත ගැටලුවල ලක්ෂණයක් ලෙස ද ප්‍රකාශ විය හැකි බැවිනි.

අන්ත්‍රවල ගෑස් එක්රැස් වූ විට උදරයේ පහළ කොටසේ පෙරළෙන ආකාරයේ හෝ මිරිකන ආකාරයේ වේදනාවක් ඇතිවිය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. බොහෝ විට මෙම වේදනාව එක් ස්ථානයක නොරැඳී වම් සහ දකුණු පසට ගමන් කරන ස්වභාවයක් ගනී. ගෑස් හෝ මළපහ පිටවීමෙන් පසු මෙම තත්ත්වයට යම් සහනයක් ලැබේ.




මහාන්ත්‍රයේ දකුණු පස කොටසේ ගෑස් සිරවීම හේතුවෙන් උදරයේ දකුණු පසින් හෝ දකුණු ඉළ ඇටවලට පහළින් වේදනාවක් හටගත හැකිය. නමුත් මෙම වේදනාව ඉතා තියුණු නම් හෝ අඛණ්ඩව පවතී නම්, එය ඇපෙන්ඩික්ස් හෝ පිත්තාශය ආශ්‍රිත රෝගී තත්ත්වයක පෙර නිමිත්තක් ද විය හැකිය.

එසේම ගෑස් වේදනාව ඉළ ඇටවලට පහළින් වම් පසින් ද ඇතිවිය හැකි බව වෛද්‍යවරයා පවසයි. මෙම කොටසේ ගෑස් එක්රැස් වීමෙන් තියුණු ඇනුම් කන ස්වභාවයක්, පීඩනයක් හෝ පෙරළෙන ආකාරයේ වේදනාවක් දැනිය හැකිය. මීට අමතරව අන්ත්‍රවල ගෑස් සෑදීම සහ උදරය පිපීම හේතුවෙන් නාභිය අවට ද වේදනාවක් හෝ තද ගතියක් ඇතිවිය හැකිය. උදරයේ ශබ්ද ඇතිවීම සහ පිපීම ද මෙහිදී දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණයකි.



උදරයේ අධිකව ගෑස් සෑදීම හේතුවෙන් පීඩා විඳින්නේ නම්, සෞඛ්‍ය සම්පන්න පුරුදු කිහිපයක් අනුගමනය කිරීමෙන් නිවසේදීම ඊට සහනයක් ලබාගත හැකි බව වෛද්‍ය අනුකල්ප් ප්‍රකාශ්ගේ උපදේශයයි. ආහාර ගැනීමෙන් පසු විනාඩි 10ත් 15ත් අතර කාලයක් ඇවිදීම, දවස පුරා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ උදරයට තරමක උණුසුම් තැවීමක් ලබාදීම මගින් මෙම තත්ත්වය පාලනය කරගත හැකිය.

ඊට අමතරව, ආහාර සෙමින් සහ හොඳින් හැපෙන සේ අනුභව කිරීමට ද වෛද්‍යවරයා උපදෙස් දෙයි. යම් හෙයකින් ඔබට කිසියම් ආහාර වර්ගයකින් අසාත්මිකතාවයක් ඇතිවන්නේ නම්, අදාළ ආහාරවලින් ඈත්ව සිටීම ද ගෑස් වේදනාවෙන් මිදීමට ඇති වඩාත් යෝග්‍ය පියවරකි.

(NDTV ඇසුරිනි)