ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු කලාපයේදී රුපියල් බිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී ඊයේ (04) දිනයේදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස්දෙනා අද (05) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් යාත්‍රාව මූලික පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී ‘හෙරොයින්’ සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර දහයකට ආසන්න ප්‍රමාණයක් යාත්‍රාව තුළ තිබියදී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 150 ඉක්මවන බව මේ වන විට තහවුරු වී ඇත. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන තුනකට ආසන්න වනු ඇති බවට දැනට ගණන් බලා ඇති බවයි.
මේ වන විට අදාළ බහුදින යාත්‍රාව දික්ඕවිට වරාය පරිශ්‍රයේ රඳවා ඇති අතර, එහි තිබී හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත බර සහ වටිනාකම ගණනය කිරීමේ කටයුතු බලධාරීන් විසින් වරාය පරිශ්‍රයේදීම ආරම්භ කර තිබේ. එම කටයුතු අවසන් වීමෙන් පසු, නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකාර ධීවරයන් පස්දෙනා වැඩිදුර විමර්ශන මෙන්ම ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.