
ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ පසුගිය ඔක්තෝබර් මාසයේදී කැපී පෙනෙන පසුබෑමකට ලක්ව තිබේ. 'JB Securities' ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී 54,214ක්ව පැවති සමස්ත වාහන ලියාපදිංචිය ඔක්තෝබර් මාසය වන විට 47,628ක් දක්වා ඒකක දහස් ගණනකින් පහත වැටුණි.
මෙය සියයට 12.1ක කඩාවැටීමක් වන අතර, මෝටර් රථ, යතුරුපැදි සහ වාණිජ වාහන ඇතුළු ප්‍රධාන කාණ්ඩ රැසකම මෙම මන්දගාමී ස්වභාවය දක්නට ලැබේ.මෙම සමස්ත පසුබෑම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ද්වි-රෝද රථ ලියාපදිංචිය අඩුවීමයි. සමස්ත වාහන ලියාපදිංචිය අඩුවීමෙන් සියයට 75කට වඩා වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ එයයි. යතුරුපැදි ලියාපදිංචිය 15,379 සිට 13,654 දක්වාත්, ස්කූටර් ලියාපදිංචිය 22,799 සිට 19,405 දක්වාත් අඩුවෙමින්, සමස්ත ද්වි-රෝද රථ ලියාපදිංචිය සියයට 13කින් පහත වැටී 33,722ක් ලෙස සටහන් විය. මීට සමගාමීව, මෝටර් රථ වෙළෙඳපොළ ද දැඩි පීඩනයකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. මුළු මෝටර් රථ ලියාපදිංචිය සියයට 17.9කින් පහත වැටී 2,802ක් ලෙස වාර්තා වූ අතර, එහිදී අලුත්ම (Brand-new) මෝටර් රථ ලියාපදිංචිය සියයට 34ක දැවැන්ත කඩාවැටීමක් වාර්තා කරමින් 453ක් දක්වා සීමා විය. පාවිච්චි කරන ලද (Pre-owned) මෝටර් රථ ලියාපදිංචිය ද සියයට 14කින් පහත වැටී 2,349ක් ලෙස සටහන් විය.
මෙම සංකෝචනය වන වෙළෙඳපොළ තුළ වුවද, ඇතැම් මෝටර් රථ සන්නාම සිය ආධිපත්‍යය රඳවාගෙන තිබේ. නව මෝටර් රථ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට BYD සමත් වූ අතර, ඔවුන්ගේ ලියාපදිංචි කිරීම් 221න් 197ක්ම ATTO 1 රථ විය. පාවිච්චි කරන ලද මෝටර් රථ කාණ්ඩයේ පෙරමුණ ගත් Suzuki සමාගමේ ලියාපදිංචි කිරීම් 836න් 714ක්ම Wagon R මාදිලියේ රථ වීම විශේෂත්වයකි. මේ අතර, SUV සහ Crossover වර්ගයේ රථ ලියාපදිංචිය ද සියයට 13.8කින් පහත වැටී 3,399ක් ලෙස වාර්තා විය. එහිදී Toyota සමාගම ලියාපදිංචි කිරීම් 1,214ක් (ඉන් 922ක් Raize රථ) සමඟින් පෙරමුණ ගත් අතර, ලියාපදිංචි කිරීම් 651ක් ලබාගත් Honda සමාගමට හිමිවූයේ දෙවන ස්ථානයයි.
වාහන වෙළෙඳපොළේ මෙම පසුබෑම සෙසු වාහන කාණ්ඩයන්ට ද එකලෙස බලපා ඇත. පිකප් රථ ලියාපදිංචිය සියයට 32.4කින් 244 දක්වා අඩුවී ඇති අතර, මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් සහ බස් රථ ලියාපදිංචිය ද විශාල ප්‍රතිශතයකින් පහත වැටී තිබේ. කෙසේ වෙතත්, මෙම ඍණාත්මක ප්‍රවණතාවය මැද වුවද විද්‍යුත් වාහන (EV) වෙළෙඳපොළ සියයට 5.4ක වර්ධනයක් පෙන්නුම් කරමින් ලියාපදිංචි කිරීම් 6,374ක් දක්වා ඉහළ ගියේය. මේ සඳහා ප්‍රධාන වශයෙන් විද්‍යුත් ද්වි-රෝද රථ ලියාපදිංචිය 5,030 සිට 5,342 දක්වා ඉහළ යාම හේතු වූ නමුත්, විද්‍යුත් මෝටර් රථ ලියාපදිංචිය 495 සිට 345 දක්වා අඩුවීමක් දක්නට ලැබුණි. මීට අමතරව විශාල ට්‍රැක්ටර් ලියාපදිංචිය සියයට 49.1ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් 407ක් ලෙස වාර්තා විය.
අනෙක් අතට, වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් මූල්‍ය පහසුකම් (Leasing/Finance) මත යැපීමේ පැහැදිලි වර්ධනයක් මේ සමයේ දක්නට ලැබේ. ද්වි-රෝද රථ සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ප්‍රතිශතය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 54.4 සිට ඔක්තෝබර් මාසයේදී සියයට 59.9 දක්වා ඉහළ ගොස් ඇත. ත්‍රි-රෝද රථ සඳහා ද එම ප්‍රතිශතය සියයට 43.9 සිට සියයට 48.9 දක්වා වර්ධනය වී තිබේ.
මෙම දේශීය වෙළෙඳපොළ හැසිරීම පිටුපස ඇති ආර්ථික පසුබිම පිළිබඳව පැහැදිලි කරන JB Securities ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුර්තසා ජැෆර්ජි මහතා පෙන්වා දෙන්නේ, 2026 වසරේ මුල් මාස නවය තුළ පමණක් මගී සහ වාණිජ වාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.87ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි. වත්මන් මාසික ආනයන වේගය දිගටම පැවතුණහොත්, 2025 වසරේදී ඩොලර් බිලියන 2.02ක් වූ වාර්ෂික ආනයන වියදම 2026 වසර අවසන් වන විට ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය 2025 වසරට සාපේක්ෂව දළ වශයෙන් සියයට 20ක පමණ වැඩිවීමකි.
එසේ වුවද, මෑතකාලීනව මගී වාහන ආනයනය සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බව ජැෆර්ජි මහතා සඳහන් කරයි. මීට පෙර මසකට ඩොලර් මිලියන 200 ඉක්මවූ එම අගය මේ වන විට ඩොලර් මිලියන 150කට වඩා අඩුවී ඇත. වෙළෙඳපොළේ මෙතෙක් සිරවී තිබූ ඉල්ලුම ක්‍රමයෙන් පහව යාම, රුපියලේ අගය දුර්වල වීම, ණය ලබාගැනීමේ කොන්දේසි දැඩි වීම සහ මෝටර් රථ ආනයනය මත පනවා ඇති සියයට 50ක අධිභාරය ඇතුළු දැඩි දේශසීමා බදු මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මගී වාහන ආනයනය මේ ආකාරයෙන් අඛණ්ඩව පහත වැටීම, රජයේ වාහන ආශ්රිත බදු ආදායම් එකතු කිරීමට ඍණාත්මක ලෙස බලපෑ හැකි බවට ඔහු අනතුරු අඟවයි. එමෙන්ම පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයේ පැවති ඉහළ පදනමට සාපේක්ෂව, 2026 වසරේ දෙවන අර්ධය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය කෙරෙහි ද මෙම වාහන වෙළෙඳපොළ මන්දගාමී වීම යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, පනවා ඇති අධිභාරය හරහා එම බලපෑමෙන් කොටසක් සමනය වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.