archaeologists-are-amazed-by-a-bronze-foot-found-in-a-bog-in-scotland

ස්කොට්ලන්තයේ වගුරු බිමකින් මීට වසර දෙසීයකට පමණ පෙර සොයාගනු ලැබූ, පසුව ශතවර්ෂයකට ආසන්න කාලයක් රහසිගතව ගබඩා කර තිබූ ලෝකඩ පාදයක්, රෝම අධිරාජ්‍යය සහ ස්කොට්ලන්තය අතර පැවති ඓතිහාසික සබඳතාව පිළිබඳ කතාව අලුතින් ලිවීමට පුරාවිද්‍යාඥයින්ට උපකාරී වෙමින් පවතී.




මෙම රන් ආලේපිත ලෝකඩ පාදය සහ සෙරෙප්පුවක් පැළඳි පාදම, හැඩ්‍රියන් තාප්පයෙන් එපිටට කඩා වැදුණු ස්කොට්ලන්ත ගෝත්‍රිකයන් විසින් කොල්ලකන ලද්දක් යැයි මුලදී විශ්වාස කෙරිණි. එහෙත්, ක්‍රිස්තු වර්ෂ 140 දී පමණ දකුණු ස්කොට්ලන්තයේ බලය තහවුරු කරගැනීමෙන් පසු හාවික් ප්‍රදේශය ආසන්නයේ ඉදිකරන ලද ඇන්ටෝනිනස් පියුස් රෝම අධිරාජ්‍යයාගේ අශ්වාරෝහක ප්‍රතිමාවක කොටසක් බව දැන් පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. අදාළ කොටස ප්‍රතිමාවෙන් කපා ඉවත් කරන ලද්දක් නොවන බවත්, එය ඉතා සුරක්ෂිතව ගලවා වගුරු බිමක තැන්පත් කර තිබූ බවත් ඔවුහු පෙන්වා දෙති.

1820 වසරේදී ගොඩගන්නා ලද මෙම දුර්ලභ පුරාවස්තුව, එඩින්බරෝ නුවරට නුදුරින් පිහිටි බක්ලූක්හි ආදිපාදවරයාට අයත් ඩැල්කීත් මන්දිරයේ රහස්‍ය කාමරයක බොහෝ කාලයක් තැන්පත් කර තිබී ඇත.




නොවැම්බර් 14 වැනිදා එඩින්බරෝහි ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේදී ආරම්භ වන, ස්කොට්ලන්තයේ රෝම ඉතිහාසය පිළිබඳ මෙතෙක් පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආකර්ෂණය බවට පත්ව ඇත්තේ ද මෙම ලෝකඩ පාදයයි. මින් පෙර සිතුවාට වඩා ප්‍රබල රෝම බලපෑමක් හැඩ්‍රියන් තාප්පයෙන් උතුරට වන්නට පැවති බව මෙමගින් තහවුරු වන බව කෞතුකාගාරයේ භාරකරුවෝ පවසති. ඔවුන් විශාල ප්‍රදේශයක් සිය පාලනයට නතු කරගෙන සිටි බවත්, කලාව මෙන්ම දේශපාලනය හැඩගැස්වීමට ඔවුන්ගේ මැදිහත්වීම විශාල වශයෙන් බලපා ඇති බවත් මින් තහවුරු වේ.

ස්කොට්ලන්තයේ රෝම ඉතිහාසය පිළිබඳ ප්‍රධාන භාරකරු වන ආචාර්ය ෆ්‍රේසර් හන්ටර් පවසන්නේ, යකඩ යුගයේ ප්‍රජාවන්ට මෙවැනි දැවැන්ත ප්‍රතිමා දැඩි බලපෑමක් එල්ල කරන්නට ඇති බවයි. "යකඩ යුගයේ මිනිසුන්ට පුද්ගලයෙකුගේ රුවක් මෙලෙස නිර්මාණය කිරීම නුහුරු අත්දැකීමක් වුණා. මේවා හුදෙක් දෘශ්‍යමානව ආධිපත්‍යයක් පතුරවනවා පමණක් නොවෙයි, ඔවුන්ගේ සම්ප්‍රදායන්ට සම්පූර්ණයෙන්ම වෙනස් ආගන්තුක නිර්මාණයක් ලෙසයි දිස්වුණේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.



රෝමවරුන් විසින් සෙල්ටික් පාලකයන්ගේ පක්ෂපාතීත්වය මිලදී ගැනීම සඳහා රිදී භාවිත කර ඇති අතර, එමගින් පසුව පික්ටිෂ් ගෝත්‍රිකයන් රෝමයට එරෙහිව එක්සත් වීමට පෙළඹී ඇත. රෝම මැදිහත්වීම් හරහා ඔවුන්ට වඩාත් ප්‍රබල සතුරෙකු නිර්මාණය වූ බවත්, එහෙත් ඔවුන් රෝම ආකෘති අනුකරණය කරමින් ප්‍රතිමා සහ ලේඛන කලාවට නිරාවරණය වීම හරහා පික්ටිෂ් සංකේත නිර්මාණය වන්නට ඇති බවත් ආචාර්ය හන්ටර් වැඩිදුරටත් පැහැදිලි කරයි. එම ප්‍රජාවන්ගේ නිර්මාණාත්මක ප්‍රතිචාරය මින් මනාව පිළිඹිබු වන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම ප්‍රදර්ශනයට තවත් සුවිශේෂී පුරාවස්තු රැසක් ද ඇතුළත් වේ. ඒ අතර ඉන්වරෙස්ක් ප්‍රදේශයෙන් සොයාගත් ඩොල්ෆින්, මුවන් සහ දඩයම් බල්ලෙකුගේ රූප සහිත මැටි බඳුනක් ද වෙයි. සහකාර භාරකාරිනී බෙතානි සිම්ප්සන් පවසන පරිදි, මෙවැනි සත්ත්ව රූප සංකලනයක් සහිත නිර්මාණයක් එක්සත් රාජධානියේ වෙනත් කිසිදු ස්ථානයකින් හමුවී නොමැත. එඩින්බරෝ නුවරට නැගෙනහිරින් පිහිටි ඉන්වරෙස්ක් ප්‍රදේශය එකල රෝමවරුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කර ඇත.

එසේම, ඉන්වරෙස්ක් හි මිත්‍රා දේවමාළිගාවකින් සොයාගනු ලැබූ කැටයම් සහිත ගල් පූජාසන දෙකක් ද ප්‍රදර්ශනයට තබා ඇත. එහි ඇස් සහ මුඛය හරහා ආලෝකය විහිදෙන ආකාරයට හිඩැස් සහිතව මිත්‍රා දෙවියන්ගේ මුහුණ නෙළා තිබීම විශේෂත්වයකි. මීට අමතරව, බ්‍රිතාන්‍යයෙන් හමුවන දුර්ලභ ගණයේ සොයාගැනීමක් වන, යුද කටයුතු සඳහා භාවිත කළ බවට සැලකෙන අශ්වයෙකුගේ සම්පූර්ණ අස්ථි සැකිල්ලක් ද මෙහි ප්‍රදර්ශනය කෙරේ. සාමාන්‍යයෙන් මෙවැනි අශ්වයන් මියගිය පසු වළදමනු නොලබන බැවින්, මෙය යුද භටයන්ට ඉතා වැදගත් වූ අශ්වයෙකු වන්නට ඇති බව ආචාර්ය හන්ටර් සඳහන් කරයි.

archaeologists-are-amazed-by-a-bronze-foot-found-in-a-bog-in-scotland

archaeologists-are-amazed-by-a-bronze-foot-found-in-a-bog-in-scotland



archaeologists-are-amazed-by-a-bronze-foot-found-in-a-bog-in-scotland

archaeologists-are-amazed-by-a-bronze-foot-found-in-a-bog-in-scotland