update-even-if-i-am-shot-dead-i-will-not-go---kassapa-thero-continues-to-remain-ignoring-the-court-order

අනුරාධපුර රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය අබියස පූජා භූමියේ අද දිගහැරුණේ උණුසුම් මුහුණුවරකි. පොලිස් නිලධාරියෙකු පැමිණ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් කියවමින් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නද, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් එම නිවේදනය ගණනකට නොගෙන අහක බලා සිටියේ නීත්‍යානුකූලව තමන් එහි රැඳී සිටින බවත්, අධිකරණයට ද නීතිය ඉගැන්විය යුතු බවත් ප්‍රකාශ කරමිනි.




මෙම නොසන්සුන්කාරී තත්ත්වයේ ආරම්භය අද පෙරවරු 9.00 ට පමණ දක්වා දිව යයි. පූජා භූමියේ දන්සැල් පැවැත්වෙන ස්ථානය ආශ්‍රිතව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, උදිත නිශාන්ත ඇතුළු පිරිසක් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයක් හේතුවෙන් විරෝධතාකරුවන් සහ ඒ අවට සිටි වෙළෙඳුන් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තේය. තත්ත්වය පාලනය කිරීමට අනුරාධපුර පොලීසිය මැදිහත් වූ අතර, එහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අද දිනම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළේය.

සත්‍යග්‍රහයේ නිරත පිරිසට සාමකාමීව ඉවත් වන ලෙස පොලීසිය උදෑසන මූලිකව දැනුම් දී තිබුණි. එහෙත් ඔවුන් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවත්, ඉන් බැතිමතුන්ට දැඩි අවහිරතා මතුවන බවත් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරයා විසින් දැඩි නියෝගයක් නිකුත් කරනු ලැබීය. අදාළ පිරිස ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඉවත් කරගත යුතු බවත්, අද පස්වරු 2.00 වන විට කොන්ක්‍රීට් කවරය, රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු මුළු පූජා භූමි ප්‍රදේශයෙන්ම සම්පූර්ණයෙන් ඉවත් විය යුතු බවත්, කිසිදු පුරාවිද්‍යා ස්මාරකයකට අලාභයක් නොකළ යුතු බවත් ඉන් නියෝග කෙරුණි. වෙනත් ආකාරයකින් අධිකරණය නොසලකන තාක් මෙය අද සිට දින 14ක් දක්වා බලපැවැත්වේ.




අදාළ නියෝගය රැගෙන ආ පොලිස් නිලධාරියා සත්‍යග්‍රහකරුවන්ට පැහැදිලි කළේ උදෑසන වෙනත් පාර්ශ්ව දෙකක් අතර ඇති වූ ආරවුලකදී විරෝධතාකරුවන් මැදිහත් වූ බවයි. එම ගැටුමට සම්බන්ධ වූ දෙදෙනෙකු බේරා ගැනීමට හිමිවරුන් දැරූ උත්සාහයත් සමග රාජකාරියට බාධා වූ බව ප්‍රකාශ කළේය. එහෙත් පොලීසිය බලහත්කාරයෙන් හිමිවරුන් ඉවත් කිරීමට උත්සාහ නොකළ බවත්, ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම් සම්බන්ධ සියලු වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි පවතින බවත් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, පොලීසියේ එම කරුණු දැක්වීම් තරයේ ප්‍රතික්ෂේප කළ සත්‍යග්‍රහයේ නිරත කස්සප හිමියෝ, පොලීසිය විසින් අධිකරණය නොමඟ යවා ඒකපාර්ශ්විකව කරුණු වාර්තා කර ඇති බවට චෝදනා කළහ. ඔවුන් අවධාරණය කළේ තමන් කිසිවෙකුට හෝ අවහිරයක් සිදු නොකළ බවත්, බැතිමතුන් සාමාන්‍ය පරිදි වන්දනාමාන කටයුතුවල නිරත වෙමින් තම දැනුවත් කිරීම් භාරගන්නා බවත්ය. අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කරමින් පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරවීමට පොලීසිය කටයුතු කළ බවටත් හිමියෝ පෙරළා චෝදනා කළහ.



එමෙන්ම, පොලීසිය විසින් තමන්ට පහර දුන් බව පවසන හිමියන්, සිය මුළුතැන්ගෙයි කටයුතු කළ තරුණයෙකුගෙන් ලේ වැක්කෙරෙන තත්ත්වයක් තිබියදීත් පොලිස් භාරයේ රඳවාගෙන සිටින බවට බරපතළ චෝදනාවක් ද එල්ල කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තියෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණවලින් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට බැඳී ඇති පසුබිමක, පූජා භූමිය ඉන්දියාවට කැබලි කර විකිණීම සහ ගොඩනැගිලි ඉදිකරමින් සර්වාගමිකරණය කිරීම නැවැත්වීම සිය අරමුණ බව ඔවුහු ප්‍රකාශ කළහ.

"අධිකරණ නියෝග අරගෙන ආවත්, අපිව වෙඩි තියලා මරලා දැම්මත් බුද්ධ ශාසනය ආරක්ෂා කරන වගකීම අපි ඉෂ්ට කරනවා," යැයි ප්‍රකාශ කළ කස්සප හිමයෝ, අදාළ ගිවිසුම් රටට හෙළි කරන ලෙසත්, සංශෝධනවලින් තොරව ගැසට් පත්‍රය සම්පූර්ණයෙන්ම හකුලා ගන්නා ලෙසත් බල කර සිටියහ. නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන බව පැවසූ අතර, අදාළ ඉල්ලීම් ඉටුවන තුරු මෙම සටන ජයග්‍රහණයකින් මිස කෙළවර නොකරන බව දැඩිව අවධාරණය කළහ.

gossiplanka image