අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස අද (07) දිනයේ හදිසි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. ඒ, අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව මහා සෑය ආසන්නයේ පිහිටි දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ගත් උත්සාහයකට පොලිසිය මැදිහත් වීමත් සමගිනි.
බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ තවත් පිරිසක් මෙම සත්‍යග්‍රහය සඳහා එක්ව සිටියහ. එම පිරිස අදාළ දන්සැල් භූමියෙන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් පැමිණ පියවර ගැනීමත් සමග එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
එම භූමිය තුළ නොසන්සුන්තාව වඩාත් තීව්‍ර වී ඇත්තේ, භික්ෂූන් වහන්සේලාට සහාය දක්වමින් සිටි ආධාරකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමට ගිය අවස්ථාවේදීය. පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම අතරතුරදී අදාළ ආධාරකරුවා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙලෙස දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන ඇත. පොලිස් මැදිහත්වීමෙන් පසු පිරිස විසුරුවාහැර ඇත.