colombos-system-built-for-30-mm-of-rain-could-not-handle-it-after-129-days---mayor

කොළඹ නගරයේ දශක ගණනාවක් පැරණි කාණු පද්ධතිය නිර්මාණය වී ඇත්තේ මිලිමීටර 30ක පමණ වර්ෂාපතනයක් දරාගැනීම සඳහාය. එහෙත් ඊයේ (6) දිනයේදී කෙටි කාලයක් තුළ නගරයට ඇදහැලුණු මිලිමීටර 129ක අසාමාන්‍ය වර්ෂාපතනය හමුවේ කොළඹ නගරය පුරා දැවැන්ත ජල ගැලීම් තත්ත්වයක් නිර්මාණය විය.




මෙම හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් අවධාරණය කළේ, ඊයේ ලැබුණු වර්ෂාපතනය නගරයේ යටිතල පහසුකම්වලට කිසිසේත් දරාගත නොහැකි වූ විශේෂිත තත්ත්වයක් බවයි. නගරයේ සාමාන්‍ය කාණු පද්ධතියට දරාගත හැක්කේ මිලිමීටර 30ත් 50ත් අතර ප්‍රමාණයක් බව පෙන්වා දෙන ඇය, ධාරිතාව වැඩි කළ මිලිමීටර 100ක පමණ වර්ෂාපතනයක් දරාගත හැකි කාණු නගරයේ ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණක් බවද සඳහන් කළාය.

කෙටි වේලාවක් තුළ ලැබුණු මෙම ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරයේ ස්ථාන රැසක් එකවර ජලයෙන් යටවී යාමේ විශාල ගැටලුවක් ඉස්මතු වූ බව පුරපතිනිය පවසයි. මේ වන විටත් කොළඹ නගර සභාව, ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු භාරව සිටින පහත් බිම් ආයතනය, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඒකාබද්ධව නගරය පිරිසිදු කිරීමේ සහ ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.




හදිසි ගංවතුර තත්ත්වයත් සමග සමාජ මාධ්‍ය හරහා පුරපතිනිය වෙත එල්ල වන චෝදනා සහ විවේචන සම්බන්ධයෙන් ද ඇය මෙහිදී අදහස් දැක්වූවාය. ජනතාව මුහුණ දෙන පීඩාව සහ වේදනාව ඔවුන් ප්‍රකාශ කරන බව පවසන ඇය, වගකිවයුතු ආයතනයක් ලෙස කොළඹ නගර සභාව එම වේදනාව බෙදාගැනීමට සූදානම් බව ප්‍රකාශ කළාය. "වර්ෂාපතනය දැඩි වර්ෂාපතනයක්. මිනිස්සුන්ගේ දුක වේදනාව ඒගොල්ලෝ බෙදා ගනී. ඒක බෙදාගන්න අපි ඉන්නවා," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙවැනි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් පවතින බව පවසන පුරපතිනිය, මේ මොහොතේ මූලික ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සහ මැදිහත්වීම් ලබාදෙන කෙටිකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට බව තහවුරු කළාය. දීර්ඝකාලීනව කළ යුතු විශාල වැඩ කොටසක් පවතින බව පිළිගන්නා ඇය, ඊයේ කොළඹ නගරය මුහුණ දුන් මෙම ආන්තික කාලගුණික තත්ත්වය ද නිවැරදිව තේරුම් ගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි.