පවුලේ ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත කැඳවූ පියෙකු, පැමිණිලි විභාගයෙන් පසු රෝහල්ගත වීමත් සමඟ මතුගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය තුළ සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව එකිනෙකට පරස්පර තොරතුරු දෙකක් කරළියට පැමිණ තිබේ. ඒ, තම හිසට පොලිස් නිලධාරිනියක පහර දුන් බවට 46 හැවිරිදි පියා කරන ප්‍රකාශයත්, එවැනි පහරදීමක් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවන බවට පොලිසිය දක්වන ස්ථාවරයත් අතර පවතින පරතරය හේතුවෙනි.
මෙම සිදුවීමට මුල් වී ඇත්තේ මතුගම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන 17 හැවිරිදි දැරියක විසින් මතුගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි. තම පියා තමා නොසලකා හරින බවට ඇය කළ එම පැමිණිල්ල විභාග කිරීම සඳහා ඉකුත් 24 වැනිදා දැරිය මෙන්ම ඇගේ මව සහ පියාද මතුගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කැඳවා තිබිණි.
කෙසේ වෙතත්, එදිනම එනම් ඉකුත් 24 වැනිදා මෙම 46 හැවිරිදි පුද්ගලයා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගැනීම ආරම්භ කර ඇත. මතුගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරියක විසින් පොලිසියේදී තම හිසට පහර දුන් බවට සඳහන් කරමින් ඔහු මෙලෙස රෝහල්ගත වී ඇති බව නාගොඩ රෝහල සඳහන් කරයි. එම රෝහල්ගත වීම සම්බන්ධයෙන් කළුතර නාගොඩ මහ රෝහල විසින් පෙරේදා (25) දුරකථන පණිවුඩයක් මගින් මතුගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
පියාගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් මතුගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියගෙන් කළ විමසීමේදී ඇය ඉදිරිපත් කළේ සම්පූර්ණයෙන්ම වෙනස් චිත්රයකි.
ඇය පවසන පරිදි, උප පොලිස් පරීක්ෂකවරියක විසින් අදාළ පැමිණිල්ල විභාග කරමින් සිටි අවස්ථාවේදී දැරියගේ පියා පැමිණිලි විභාගය සිදු කෙරෙන ආකාරය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇත. එය දුටු උප පොලිස් පරීක්ෂකවරිය ඒ පිළිබඳව දැරියගේ මවද දැනුවත් කර, එවැනි වීඩියෝ ගත කිරීම් නොකරන ලෙස පියාට තරයේ අවවාද කර තිබේ. අනතුරුව ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කර තිබූ එම වීඩියෝ දර්ශන මකා දමා, දුරකථනය යළිත් ඔහු වෙත භාර දීමට නිලධාරිනිය කටයුතු කළ බව ස්ථානාධිපතිවරිය සඳහන් කළාය.
මෙම පවුල තුළ ආරවුලක් පවතින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වූ බවත්, ඒ අනුව දැරිය පිළිබඳව සොයා බලා ඇයට නිසි සැලකිලි ලබා දෙන ලෙස පියාට උපදෙස් දී පැමිණිල්ල සාමදාන කොට දෙපාර්ශ්වයම නිවෙසට පිටත් කර යැවූ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරිය විසින් පහරදීමක් සිදු කර ඇති බවට කිසිදු තොරතුරක් අනාවරණය නොවන බවද ස්ථානාධිපතිවරිය අවධාරණය කළාය.
ඒ අනුව, පොලිසිය තුළදී සාමදාන කර නිවෙසට පිටත් කර යැවූ බව කියන පැමිණිලි විභාගයක්, අවසානයේ පියෙකුගේ රෝහල්ගත වීමකින් සහ පහරදීමේ චෝදනාවකින් කෙළවර වී තිබේ.