sri-lankan-rupee-loan-facility-from-the-world-bank-for-the-first-time

විදේශ විනිමය අනුපාත උච්චාවචනයන් හමුවේ දේශීය ව්‍යාපාර මුහුණ දෙන අවදානම අවම කරමින්, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයන්හි නව පෞද්ගලික ආයෝජන සඳහා දොරටු විවර කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන තිබේ. ඒ අනුව වැඩි කාල සීමාවකට යටත් ශ්‍රී ලංකා රුපියල් මූල්‍ය පහසුකම් සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමූහය නිවේදනය කරයි.




ඊයේ (26) නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව සඳහන් කළේ, ආසියානු කලාපය තුළ සිදු වූ මෙවැනි ආකාරයේ ප්‍රථම ගනුදෙනුව ලෙස මෙය සැලකෙන බවයි. මෑතකදී ඇති වූ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ප්‍රථම යටිතල පහසුකම් ආයෝජනය ලෙස ද මෙම පියවර සටහන් වේ.

මෙම වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකු සමූහ භාණ්ඩාගාරය විසින් පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ HSBC ශ්‍රී ලංකා ආයතනය අතර වසර හයක ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකමක් සකස් කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 5කට සමාන මෙම ස්ථාවර පොලී ණය පහසුකම, ශ්‍රී ලංකාව තුළ IFC ආයතනය ලබා ගත් ප්‍රථම ණය පහසුකම ලෙස ද සැලකේ.




දේශීයව රුපියල් රැස් කිරීම මඟින් ව්‍යාපාරවලට තමන් ආදායම් උපයන මුදල් ඒකකයෙන්ම ණය ලබා ගැනීමේ අවස්ථාව හිමි වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එමඟින් විනිමය අනුපාත අවදානම්වලට මුහුණ දීමට ඇති ඉඩකඩ අඩු වන අතර, දැනටමත් මෙම ණය පහසුකම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා දිගුකාලීන මූල්‍යකරණය ශක්තිමත් කිරීමට සහාය වෙමින් පවතී.

ලෝක බැංකු සමූහ භාණ්ඩාගාරය විසින් සකස් කරන ලද අතිරේක දේශීය මුදල් අරමුදල් ද සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමකට IFC ආයතනය ලබා දෙන ඇමරිකානු ඩොලර් බිලියන 10ක, වසර 10ක රුපියල් ණය පහසුකමට මෙමඟින් සහාය ලැබෙන බව සඳහන් වේ. මෙම ආයෝජනය IFC ආයතනය මෙතෙක් ලබා දී ඇති දීර්ඝතම කාල සීමාවකින් යුත් රුපියල් ණය පහසුකම මෙන්ම එහි ප්‍රථම රුපියල් යටිතල පහසුකම් ණය පහසුකම ද වේ.



මෙම නව පහසුකම පදනම් කරගනිමින් ඉදිරියේදී පෞද්ගලික ආයෝජන සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් මූල්‍යකරණය තවදුරටත් පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය අපේක්ෂා කරයි.