නීතිය ආරක්ෂා කිරීම සඳහා රාජකාරි ගිනි අවිය අතට ගත් පොලිස් නිලධාරියෙකු, එම අවියම පාතාලයට අලෙවි කර විදේශගතව සුඛෝපභෝගී දිවියක් ගත කිරීමේ පුවතක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කේන්ද්‍ර කර ගනිමින් අනාවරණය වී තිබේ. පසුගිය වසරේ රාජකාරි ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගය සමඟ අතුරුදන්ව ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණු විසිහය හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) අලුයම මෙරටට රැගෙන ඒමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සිදුවීමේ පසුබිම හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අනුරාධපුර පේමඩුව ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජයකොඩි ආරච්චිගේ කවිඳු කාස් ජයකොඩි නමැති මෙම කොස්තාපල්වරයාගේ කතාව ඇරඹෙන්නේ පසුගිය 2025 වසරේ පෙබරවාරි අටවැනිදා සවසය. එදින සවස හයේ සිට පසුදින අලුයම හය දක්වා ගල්කිස්ස කහටවිට මාවතේ පාලම අසල මාර්ග බාධක රාජකාරිය සඳහා ඔහු යොදවා තිබිණි. ඒ අනුව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ තිහක් සහිත මැගසිනය ලබාගෙන පිටත්ව ගිය ඔහු, පසුදින එනම් පෙබරවාරි නවවැනිදා අලුයම වන තෙක්ම සිය රාජකාරියට වාර්තා කර නොතිබූ බව පොලිසිය සඳහන් කරයි.
ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගයද සමඟ අතුරුදන් වූ කොස්තාපල්වරයා සොයා පොලිසිය ආරම්භ කළ විමර්ශනවලදී තහවුරු වූයේ ඔහු පෙබරවාරි නවවැනිදාම කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බවය. පලා යාමට පෙර ඔහු තමන් භාරයේ තිබූ ටී පනස් හය ගිනි අවිය සහ ජීව උණ්ඩ තිහක් සහිත මැගසිනය රුපියල් ලක්ෂ පහක මුදලකට අලෙවි කර තිබෙන බව මෙරටට ගෙන ඒමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.
පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට මෙම ගනුදෙනුව පිටුපස සිට ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ඉහළ ගමගේ දර්ශන හෙවත් අයි.ඩී. යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයාය. අයි.ඩී. නමැත්තාගේ උපදෙස් මත ගිනි අවිය සහ උණ්ඩ තොගය ඔහුගේ පාර්ශ්වයේ අයෙකුට ලබා දී රුපියල් ලක්ෂ පහක මුදල ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. එපමණක් නොව, මෙම කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇත්තේද අයි.ඩී. නමැති මෙම පාතාල කල්ලි නායකයාම බවට පොලිස් ආරංචි මාර්ග තොරතුරු හෙළි කරයි. ඩුබායිහි සැඟව සිටි කාලය තුළ ඔහුට ඉඳුම් හිටුම් සපයමින් සියලු වියපැහැදම් දරා ඇත්තේද එම පාතාල නායකයා බව කියැවෙන අතර, සැකකාර කොස්තාපල්වරයා එරට සුඛෝපභෝගී නිවසක සුඛෝපභෝගී දිවියක් ගත කර ඇති බවද වාර්තා වේ.
මෙම ගිනි අවිය පාතාල කල්ලියක් අතට පත්වීමේ බරපතළකම හෙළි වූයේ අයි.ඩී. නමැත්තාගේ පාර්ශ්වයේ අයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔහු ලබා දුන් තොරතුරු මත කොස්තාපල්වරයාගෙන් මිලදී ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ නිවසක පිටුපස සුරක්ෂිතව වළ දමා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් විය. ප්‍රතිවාදී පාතාල කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ කොන්ත්‍රාත් ක්‍රමයට මිනිස් ඝාතන සිදු කිරීමේ අරමුණින් මෙම අවිය මිලදී ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. මේ අතර, සැකකාර කොස්තාපල්වරයාට ගිනි අවිය රැගෙන පලා යාමට ආධාර අනුබල දුන් බවට සහ කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වූ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේම රාජකාරි කළ තවත් කොස්තාපල්වරයෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන ඔහුගේ වැඩ තහනම් කර තිබිණි.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සැකකාර කොස්තාපල්වරයා, රහස් පොලිසියේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අලුයම මෙරටට රැගෙන එනු ලැබීය. මූලික විමර්ශනවලින් අනතුරුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති අතර, පැය හැත්තෑ දෙකක රැඳවුම් නියෝගද ලබාගෙන තිබේ. ඩුබායිහි ගත කළ සුඛෝපභෝගී දිවිය නිමා කරමින් නැවතත් නීතියේ රැහැනට හසු වූ මෙම කොස්තාපල්වරයා සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් තවදුරටත් විමර්ශන මෙහෙයවමින් සිටී.