the-girl-found-in-the-cave-will-receive-a-monthly-allowance-from-the-government

නකල්ස් ගල් ගුහාවක් තුළ දී බිලිඳියක ප්‍රසූත කිරීමේ සිද්ධියට මුහුණ දුන් පහළොස් හැවිරිදි දැරිය, මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම් කර සිටී.

එවන් පසුබිමක ඇයගේත්, එම බිලිඳියගේත් සුබසාධනය මෙන්ම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත.




ඒ අනුව අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන “අර්ථ” වැඩසටහන යටතේ මෙම දැරියට මාසික ජීවන වියදම් දීමනාවක් ලබාදීමට නියමිතය. ඇයගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වනතුරු හෝ ඇයගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තුරු මෙම දීමනාව සැපයෙනු ඇත.

විභාගය සඳහා සූදානම් වීමට ඇයට අවශ්‍ය සහාය සලසා දීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී තිබේ. ඒ සඳහා අවශ්‍ය මනෝ සමාජයීය උපදේශන සහාය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා ඇයට ලබාදීමට කටයුතු කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝබ්රාජ් මහත්මිය අමාත්‍යාංශයට වැඩිදුරටත් උපදෙස් දී ඇත.




දැරියගේ අධ්‍යාපනය පමණක් නොව, කුඩා දියණියගේ අවශ්‍යතා ද මෙම සැලැස්මට ඇතුළත්ය. එම බිලිඳියගේ පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ද “අර්ථ” දීමනාව සැපයීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ආයතනික රැකවරණය හෝ ආරක්ෂිත භාරකාරීත්වය යටතට පත් කරන ලද ළමයින් සහ වීදි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන “අර්ථ” වැඩසටහන, 2025 වසරේ සිට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයත් පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. මසකට ළමයින් 9,000 කට ආසන්න පිරිසක් මෙයින් ප්‍රතිලාභ ලබන අතර, 2027 වසරේදී ද මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම උදෙසා 2027 අයවැය මගින් රුපියල් මිලියන 750 ක මුදලක් වෙන් කර තිබේ.