he-came-to-steal-gold-as-a-gentleman-who-gives-tuition-for-scholarships

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරයකුගේ වෙස් ගෙන ස්වර්ණාභරණ වෙළෙඳසලකට පැමිණි පුද්ගලයකු, රුපියල් විසි දෙලක්ෂ අනූපන්දහසක් පමණ වටිනා රන්මාල තොගයක් සොරකම් කර පලා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. පෙරේදා (17) දහවල් සිදු වූ මෙම සොරකම, වෙළෙඳසලේ සිටි සේවකයා සහ හිමිකරු පියවරෙන් පියවර එම ස්ථානයෙන් ඉවත් කරමින් සිදු කර තිබේ.




උපකාරක පන්ති ගුරුවරයකු සේ ලිපි ගොනුවක් ද රැගෙන වෙළෙඳසලට ඇතුළු වී ඇති සැකකරු, එම ලිපි ගොනුව මේසය මත තබා තමාට රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. ඒ අනුව වෙළෙඳසල් හිමියා රන් මාල සහිත පෙට්ටි තුනක් ගෙනැවිත් මේසය මත තැබීමෙන් පසු, කාඩ්පතින් මුදල් ගෙවීමේ පහසුකම තිබේදැයි ඔහු විමසා තිබේ. එම පහසුකම නොමැති බව දැනුම් දීමත් සමඟ සැකකරු සිය බැංකු කාඩ්පත වෙළෙඳසල් සේවකයකු අතට දී රුපියල් ලක්ෂ දෙකක මුදලක් රැගෙන එන ලෙස පවසා ඔහුව බැංකුව වෙත පිටත් කර යවා ඇත.

සේවකයා බැංකුව වෙත ගිය පසු, තමාගේ අම්මා සහ නංගී කරාබු මිලදී ගැනීම සඳහා පැමිණෙන බව සැකකරු වෙළෙඳසල් හිමියාට පවසා තිබේ. ඒ අනුව හිමිකරු කරාබු රැගෙන ඒම සඳහා වෙළෙඳසල ඇතුළට ගිය අවස්ථාව ප්‍රයෝජනයට ගත් සැකකරු, මේසය මත තිබූ පෙට්ටි තුනේ අඩංගු රන් මාල සියල්ලම රැගෙන අසල නවතා තිබූ යතුරුපැදියක නැගී පලා ගොස් ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත.




සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියා පොලිසියට කළ පැමිණිල්ලට අනුව ආරම්භ කළ විමර්ශනවලදී සැකකරු විසින් එහි තබා ගිය දෑ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව ඔහු සේවකයා අතට දුන් බැංකු කාඩ්පත ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගේ අවලංගු කරන ලද කාඩ්පතක් බව පොලිසිය සොයාගෙන ඇත. එමෙන්ම වෙළෙඳසලේ තබා ගිය උපකාරක පන්ති පත්තර, සිද්ධියට පෙර දින ඉංගිරිය ප්‍රදේශයේ පුවත්පත් වෙළෙඳසලකින් ලබාගත් ඒවා බව ද පොලිස් පරීක්ෂණවලින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.