yusr-khalil-arrives-from-paris-to-expose-namals-cheating

වසර හතරකට වැඩි කාලයක් පුරා ගෝලීය ගුවන් යානා ගනුදෙනු ජාලයක අභ්‍යන්තර මූල්‍ය රහස් පීරා බැලූ ප්‍රංශ ජාතික වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති එයාර්බස් අල්ලස් නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.




'ෆොරෙන්සික් රිස්ක් ඇලයන්ස්' (Forensic Risk Alliance - FRA) ආයතනයේ හවුල්කාරිනියක මෙන්ම එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානී ලෙස කටයුතු කරන යූස්ර් ඛලීල් (Yousr Khalil) මහත්මිය මෙලෙස මෙරට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. ආන්දෝලනාත්මක එයාර්බස් නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන හා විශේෂඥ සාක්ෂිකරුවන් අතරට ඇය ඇතුළත් කර තිබේ.

ඇය මෙම නඩුවේදී තනිව සාක්ෂි දීමට නියමිත නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අධිචෝදනා පත්‍රයේ නම් කර ඇති තවත් ප්‍රමුඛ සාක්ෂිකරුවෙකු වන එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසි (Karl Hennessee) මහතා සමඟ ඇය සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටීමට නියමිතය.




යූස්ර් ඛලීල් මහත්මිය මෙම නඩුවට එක්වන්නේ එයාර්බස් සමාගමට අදාළ ජාත්‍යන්තර විමර්ශනයක ගැඹුරු අත්දැකීම් සමඟිනි. අල්ලස් හා දූෂණ චෝදනා මධ්‍යයේ රටවල් කිහිපයක සිදු කෙරුණු ගුවන් යානා අලෙවි ගනුදෙනු පිළිබඳව එයාර්බස් සමාගම සම්බන්ධයෙන් පැවැති පුළුල් ජාත්‍යන්තර දූෂණ හා අනුකූලතා විමර්ශනයේදී ඇය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළාය. ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව සිදු කළ එම අධිකරණ වෝහාරික විමර්ශනය හරහා, ගුවන් යානා අලෙවිය හා බැඳුණු නීතිවිරෝධී මූල්‍ය ගෙවීම් සිදු කෙරුණු ගෝලීය ජාලයක් අනාවරණය වූ බව පැමිණිලි පාර්ශ්වය පෙන්වා දී ඇත.

එම ජාත්‍යන්තර විමර්ශනයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ යෝජිත ගනුදෙනුවක් මුල් කරගනිමිනි. එවකට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා මෙම ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව විමර්ශකයින් චෝදනා කර තිබේ.



අධිචෝදනා පත්‍රයට අනුව, ගුවන් යානා ගනුදෙනුවට සම්බන්ධ බව කියන එම අල්ලස් සැලසුමෙන් උපයාගත් මුදල් ලබා ගත් බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇත. පැරිස් නුවර සිට ගෝලීය මූල්‍ය ජාලයක් විමර්ශනය කළ වෝහාරික විශේෂඥවරියකගේ සහ එයාර්බස් උප සභාපතිවරයාගේ සාක්ෂි මෙරට අධිකරණය හමුවේ දිගහැරීමට නියමිත වීමත් සමඟ, මෙම නඩුවේ ඉදිරි විභාගය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ.