ගිංතොට දුම්රිය ස්ථානයට නුදුරින්, ගංගාතිලක විහාරයට යන මාර්ගය අසල දුම්රිය මාර්ගය පසෙක වැටී තිබූ ඒ තරුණියගේ නිසල සිරුර අසලින් හදිසියේම ඇගේ ජංගම දුරකතනය නාද වන්නට විය. ඒ වන විටත් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටි ගාල්ල පොලිසියේ නිලධාරියෙකු එම ඇමතුමට පිළිතුරු දෙමින් කතා කරන්නේ කවුරුන්දැයි විමසූ මොහොතේ, අනෙක් පසින් ඇසුණේ ඇගේ සැමියාගේ හඬයි.
තමාටත්, තම බිරිඳටත් අත්ව ඇති ඛේදවාචකය පිළිබඳව ඔහුට මුල්වරට අසන්නට ලැබුණේ ඒ දුරකතන ඇමතුමෙනි.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි, බෙලිඅත්ත වලස්මුල්ල පාරේ පදිංචිව සිටි 24 හැවිරිදි ඔලොක්කුව පටබැඳිගේ කවිඳි යුත්මිණි ද සිල්වා නමැති වෛද්‍ය සිසුවියයි. ඇය මියයන විට මුහුණ දෙමින් සිටි මානසික ආතතිය සහ අධ්‍යාපන පීඩනය පිළිබඳ සංවේදී තොරතුරු රැසක් ඇගේ මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වූ අතර, ඇය සිය මවුපියන්ටත් සැමියාටත් අවසන් වරට යැවූ කෙටි පණිවුඩ මේ වන විටත් ඒ ඛේදවාචකයේ නිහඬ සාක්ෂි බවට පත්ව තිබේ.
මියගිය සිසුවියගේ පියා වන මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයකු ලෙස සේවය කරන විරාජ් ජයක ද සිල්වා මහතා ගාල්ල හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවේ, සිය දියණිය තෙවැනි වර විභාගයට පෙනී සිට වෛද්‍ය පීඨයට තේරී පත්ව එහි සිව්වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි. ඇය සහ ඇගේ සැමියා වන අක්මීමණ තලගහ හන්දියේ පදිංචි 23 හැවිරිදි විශ්මිත විශාරද විජේනායක අතර වසර හතරක පමණ ප්‍රේම සබඳතාවක් තිබූ අතර, දෙපාර්ශ්වයේම කැමැත්ත මත පසුගිය අගෝස්තු මාසයේදී ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කර තිබිණි.
කිසිදු පවුල් ආරවුලක් හෝ විරසකයක් නොතිබූ ඇගේ ජීවිතයට දැඩි ලෙස බලපා තිබුණේ අධ්‍යයන කටයුතු පිළිබඳ පීඩනයයි. "වැඩ වැඩියි අම්මේ, මට ආතතිය වගේ, රිලැක්ස් වෙන්න පන්සලට යන්න ඕන" යැයි ඇය මෑත දිනක සිය මවට පවසා තිබූ අතර, පසුව සැමියා ඇයව පන්සලට ද කැඳවාගෙන ගොස් තිබිණි. මීට සතියකට පමණ පෙර ඇය සිය සැමියාට පවසා තිබුණේ වැඩ වැඩි නිසා තමාට තනියම වැඩ කරගන්නට අවශ්‍ය බැවින් තරමක් ඈත්වී සිටීමට අවශ්‍ය බවයි.
පසුගිය නොවැම්බර් 02 වැනිදා උදෑසන ගිංතොට ප්‍රදේශයේ පැවැති ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනකට සහභාගි වී සරසවියට පැමිණි යුත්මිණි, එදින පස්වරු 2.30 ට පමණ සිය සැමියා හමුවූ අවස්ථාවේදී ද නැවතත් පවසා ඇත්තේ තමාට තනියම සිටීමට ඉඩ දෙන ලෙසයි. එදින පස්වරු 5.30 ට පමණත්, ඉන්පසු රාත්‍රී 10.22 ට පමණත් ඇය සැමියාට කෙටි පණිවුඩ යවා තිබිණි. ඇගේ රාත්‍රී පණිවුඩයේ සඳහන්ව තිබුණේ, "පාඩම් කරලා ඔයා හොඳ තැනකට යන්න මම බලා ඉන්නවා. පරිස්සමින් ඉන්න" යනුවෙනි. සැමියා මෙම පණිවුඩය දැක තිබුණේ පසුදා උදෑසනය.
අනතුරුව එදිනම මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ ඇය සිය පියාගේ දුරකතනයට ද පණිවුඩයක් යවා තිබුණේ "තාත්තේ මම ඔයාට ආදරෙයි, අම්මා හොඳට බලාගන්න" යනුවෙනි.
පියාගේ සාක්ෂියට අනුව, පසුදා (03) අලුයම 3.30 ට පමණ මේ පණිවුඩය දුටු මවුපියන් වහාම දියණියට ඇමතුම් ගත්තද ඇය ප්‍රතිචාර දක්වා නැත. දැඩි නොසන්සුන්තාවයට පත් පියා, අලුයම 6.00 වන විට කරාපිටිය වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පැමිණියද දියණිය එහි සිටියේ නැත. ඇගේ මිතුරියන් ද ඒ වන විට කිසිවක් දැන සිටියේ නැත.
නොවැම්බර් 03 වැනිදා උදෑසන 7.30 ට පමණ යුත්මිණි නේවාසිකාගාරයේ නොමැති බව ඇගේ මිතුරියක් විශ්මිතට දැනුම් දීමෙන් පසු, සැමියා අවස්ථා කිහිපයකදී ඇයට දුරකතන ඇමතුම් ගෙන තිබේ. පෙරවරු 9.45 ට පමණ ඔහු ලබාගත් ඇමතුමට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා ඔහුට ගාල්ල පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ වන විටත්, එනම් උදෑසන 7.30 ට පමණ ගිංතොට දුම්රිය මාර්ගය පසෙක වැටී තිබූ යුත්මිණිගේ සිරුර දුම්රිය මාර්ග වැඩ පරීක්ෂකවරයකු විසින් දැක පොලිසියට දැනුම් දී තිබිණි.
පසුව විශ්මිතගේ පියාගෙන් ලද තොරතුරකට අනුව ගිංතොට දුම්රිය ස්ථානය අසලට ගිය යුත්මිණිගේ පියාට සිය දියණියගේ සිරුර දැකගන්නට ලැබිණි. සිය දියණියගේ මරණය ගැන කිසිදු සැකයක් නොමැති බව ඔහු මරණ පරීක්ෂණයේදී පවසා ඇත.
මෙම මරණය දුම්රියට පැන සියදිවි නසාගැනීමක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න පිළිබඳව ගාල්ල පොලිසිය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. දේහය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයේදී ඇය කොළඹ සිට ගාල්ල දෙසට පැමිණි දුම්රියක ගැටී ඇති බව නිරීක්ෂණය වුවද, අදාළ කාල සීමාවේ ධාවනය වූ දුම්රිය දෙකේම රියැදුරන් ඇය දුම්රියේ ගැටෙනු දැක නැත. මේ හේතුවෙන් ඇය කුමන දුම්රියක ගැටුණේ ද යන්න නිශ්චිතව තහවුරු වී නොමැති බව මරණ පරීක්ෂකවරයා පැවසීය.
ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්. ඩී. වීරරත්න මහතාගේ වාර්තාවට අනුව සහ දුම්රිය රියැදුරන්ගෙන් තවදුරටත් සාක්ෂි ලබාගැනීමේ අවශ්‍යතාව මත, ගාල්ල හදිසි මරණ පරීක්ෂක ගාමිණි කුලසිංහ මහතා විසින් මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙනු ලැබීය.
වෛද්‍යවරියක වීමේ සිහිනය හඹා යමින්, ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර මාස කිහිපයක් ගතවීමටත් මත්තෙන් ඇය ගත් මේ නිහඬ සමුගැනීම, විසඳිය යුතු ප්‍රශ්න රැසක් ද සමගින් දුම්රිය මාර්ගය අයිනේ සදහටම නිහඬ වී තිබේ.