කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයකු අද (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ (01) දිනයේදී සැකකාර නිලධාරියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර, මෙම ආන්දෝලනාත්මක මරණයත් සමග ශ්‍රී ලංකා පොලිසියේ අත්අඩංගුවට පත්වන සැකකරුවන්ගේ ආරක්ෂාව සහ වගකීම සම්බන්ධයෙන් දැඩි තීරණ රැසක් ගැනීමට බලධාරීහු මේ වන විට කටයුතු කරමින් සිටිති.
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී මෙම ඛේදවාචකයේ ආරම්භය සනිටුහන් විය. ප්‍රදේශයේ සිදුවූ සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන තරුණයෙකු ගම්වාසීන් විසින් අල්ලා ගසක බැඳ තබා කොබෙයිගනේ පොලිසියට භාර දීමට පියවර ගෙන තිබුණි. එහෙත් දින දෙකක් පුරා පොලිස් භාරයේ පසුවූ ඔහු, ඔක්තෝබර් 27 වැනිදා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. ඔහු නිකවැරටිය සහ කුරුණෑගල යන රෝහල්වලට ඇතුළත් කළ බවත්, නිකවැරටිය රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවත් පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය සහ ගම්වාසීන් අතර පවතින්නේ දැඩි පරස්පරතාවයකි. මියගිය පුද්ගලයාට ප්‍රදේශවාසීන් විසින් පහර දී ඇති බවට සැකයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළ අතර, ඒ අනුව සිද්ධියට අදාළව පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද කොබෙයිගනේ පොලිසිය කටයුතු කළේය. එහෙත් එම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරන ප්‍රදේශවාසීන් පවසන්නේ, තමන් සැකකරු ගසක බැඳ පැයක් ගතවීමටත් පෙර පැමිණි පොලිසිය ඔහුව නාවා නිරුපද්‍රිතව රැගෙන ගිය බවයි. යම් පහරදීමක් සිදුව තිබුණේ නම් ඔහුව වහාම රෝහල්ගත කිරීමට පොලිසියට හැකියාව තිබුණු බවත්, දින දෙකක් පුරා රඳවාගෙන සිටීමෙන් පසු මියයෑමේ වගකීම ගම්වාසීන්ට පැටවීම අසාධාරණ බවත් ඔවුහු තර්ක කරති.
මෑතකදී හෝමාගම පොලිසියේ සිරමැදිරියක් තුළදී එක්දරු පියකු අබිරහස් ලෙස මියයෑමේ සිද්ධිය සහ කොබෙයිගනේ සිදුවීමත් සමඟ පොලිස් අත්අඩංගුවේ පසුවන පුරවැසියන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව රට තුළ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබේ. අත්අඩංගුවේ පසුවන පුරවැසියකුට පහරදීම හෝ අමානුෂික හිරිහැර කිරීම රජය කිසිසේත්ම අනුමත නොකරන බව බලධාරීන් අවධාරණය කර ඇත.
මෙම තත්ත්වය හමුවේ පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ උපදෙස් මත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඉන් දැඩිව දැනුම් දී ඇත්තේ, අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට පොලිස් ස්ථානය තුළදී කිසියම් පහරදීමක්, හිංසා කිරීමක් හෝ තුවාල කිරීමක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් භාරගත යුතු බවයි. මින් ඉදිරියට තම පොලිස් ස්ථානය තුළදී යම් පුද්ගලයෙකු එවැනි හිංසනයකට ලක්වුවහොත් ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විනය සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.