cyclone-murasu-hits-andhra-pradesh-coast-in-india

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී තිබූ ගැඹුරු පීඩන අවපාතය මේ වන විට 'මුරාසු' නමැති සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.නොවැම්බර් පළමුවැනිදා පෙරවරු 11.30 පමණ වන විට මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 12.1 ත් නැගෙනහිර දේශාංශ 85.3 ත් ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.




බටහිරට බරව වයඹ දෙසට ගමන් කරන මෙම සුළි කුණාටුව, නොවැම්බර් දෙවැනිදා උදෑසන වන විට ගිනිකොණදිග සහ ඊට යාබද බස්නාහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එලෙස වයඹ දෙසට ගමන් ගන්නා මුරාසු චණ්ඩ සුළි කුණාටුව, නොවැම්බර් දෙවැනිදා මධ්‍යම රාත්‍රියත් තෙවැනිදා අලුයමත් අතර කාලය තුළදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.




මෙම ආන්තික කාලගුණික තත්ත්වය හේතුවෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ද ඇතිවිය හැකිය. ඒ අනුව අදාළ මුහුදු කලාපයන් ඉතා රළු විය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති.

මෙම දැඩි අවදානම සැලකිල්ලට ගනිමින්, උතුරු අක්ෂාංශ 10 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම, මන්නාරමේ සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ද ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසට නිවේදනය කර තිබේ. එමෙන්ම, මේ වන විටත් අදාළ මුහුදු කලාපවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස් සිටී නම් ඔවුන් වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කළ යුතු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැඩි උපදෙස් ලබා දී ඇත.