genetically-inherited-high-cholesterol-can-be-reduced-by-changing-your-diet

සුදට සුදේ දිලිසෙන නිවුඩ්ඩ ඉවත් කළ බත්, තෙල් බේරෙන පරාටා, පොල්තෙල් යහමින් දමා පිසූ ව්‍යංජන — මේවා අපේ කෑම මේසයට කිසිසේත්ම අමුත්තක් නොවේ. එහෙත් පළතුරු, එළවළු සහ තන්තු බහුල ආහාර පසෙකට දමා මෙවැනි ආහාර රටාවකට පමණක් හුරුවීම අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටමට එල්ල කරන්නේ දැඩි බලපෑමකි.

බොහෝ දෙනෙකු සිතන්නේ අධික කොලෙස්ටරෝල් යනු තම පරම්පරාවෙන් සහ ජානවලින් උරුම වන, කිසිසේත් වෙනස් කළ නොහැකි ඉරණමක් බවයි. කෙසේ වෙතත්, ඔබේ පවුලෙන් කොලෙස්ටරෝල් අවදානම ඔබට උරුම වී තිබුණත්, දෛනික කෑම පිඟානට අදාළ නිවැරදි තීරණ හරහා එය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.




ඉන්දියාවේ චෙන්නායි නුවර වැඩිහිටියන් 1,020 දෙනෙකු යොදාගනිමින් සිදු කළ මෙම නවතම අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ, ජානමය වශයෙන් නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම ඉහළ යාමේ අවදානමක් ඇති පුද්ගලයින්ට පවා සිය දෛනික ආහාර වේලේ ගුණාත්මකභාවය හරහා රුධිර දර්ශකවල තීරණාත්මක වෙනසක් ඇති කළ හැකි බවයි. මධ්‍යම හෝ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ආහාර රටාවක් අනුගමනය කළ පිරිස ඔවුන්ගේ ඉහළ LDL සහ සම්පූර්ණ කොලෙස්ටරෝල් සඳහා වූ ජානමය අවදානම සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබූ අතර, දුර්වල ආහාර රටාවක් අනුගමනය කළ අය පමණක් ඉහළ කොලෙස්ටරෝල් මට්ටම්වලට ගොදුරු වී තිබුණි.

‘PLOS ONE’ විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති මෙම අධ්‍යයනය (CURES–165), චෙන්නායි නාගරික ග්‍රාමීය වසංගත රෝග අධ්‍යයනයේ (CURES) දීර්ඝකාලීන දත්ත මත පදනම් වී ඇත. වයස අවුරුදු 25 ත් 80 ත් අතර පිරිමි පුද්ගලයින් 452 ක් සහ කාන්තාවන් 568 ක් මීට ඇතුළත් විය. එහිදී TCF7L2 rs7903146, FTO rs8050136 සහ rs1588413 යන ප්‍රවේණික ප්‍රභේද තුන පරීක්ෂා කර බලා විශේෂ ජානමය අවදානම් අගයක් ගණනය කර තිබේ. එසේම පියලි සහ රනිල කුලයේ බෝග, පළතුරු සහ එළවළු, කිරි නිෂ්පාදන, සුදු සහල්, ආහාරයට ගන්නා මේදය සහ තෙල්, අමතරව එක් කරන සීනි, අමතරව එක් කරන ලුණු, මෙන්ම කුකුළු මස් සහ බිත්තර ඇතුළු කාණ්ඩ 8 ක් යටතේ ඔවුන්ගේ ආහාරවල ගුණාත්මක බව ඉන්දියානු ආහාර තත්ත්ව දර්ශකයක් භාවිතයෙන් මනිනු ලැබීය. අඩු ගුණාත්මක ආහාර කාණ්ඩයේ සිටි පුද්ගලයින් තුළ, ඉහළ ජානමය අවදානම සහ සම්පූර්ණ කොලෙස්ටරෝල් මෙන්ම LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම අතර සැලකිය යුතු සබඳතාවක් පවතින බව පර්යේෂකයෝ තහවුරු කළහ. මධ්‍යම සහ ඉහළ ගුණාත්මක ආහාර ගත් කාණ්ඩවල මෙම වෙනස සංඛ්‍යානමය වශයෙන් සැලකිය යුතු මට්ටමක නොතිබිණි.




"ජාන මගින් යම් පුද්ගලයෙකුට පරිවෘත්තීය රෝග සඳහා ඇති අවදානම තීරණය කළත්, පුද්ගලයෙකුගේ ආහාර පුරුදු හරහා එම අවදානම ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කළ හැකියි. ඔබට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව සඳහා ජානමය නැඹුරුවක් උපතින්ම තිබුණත්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මගින් තවදුරටත් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැකියි," යනුවෙන් මෙම පත්‍රිකාවේ සම කතුවරයෙකු වන, ආචාර්ය මෝහන්ගේ දියවැඩියා විශේෂඥ මධ්‍යස්ථානයේ සහ මදුරාසි දියවැඩියා පර්යේෂණ පදනමේ (MDRF) සභාපති වෛද්‍ය වී. මෝහන් පවසයි. ජානමය අවදානම් අගය සහ නිරාහාර රුධිර සීනි මට්ටම මෙන්ම ගතවූ මාස දෙක තුනක සාමාන්‍ය රුධිර සීනි මට්ටම (HbA1c) අතර සබඳතාවක් ද මෙහිදී අනාවරණය වී ඇත.

මෙම අධ්‍යයනය චෙන්නායි නුවර සිදු වුවද එහි ප්‍රතිඵල පුළුල් පරාසයකට අදාළ වේ. තෙළිඟු කතාකරන වැසියන්, මාර්වාරි, ජෛන, බෙංගාලි මෙන්ම උත්තර් ප්‍රදේශ් සහ බිහාර් වැනි ප්‍රාන්තවලින් පැමිණි විවිධ භාෂා සහ සංස්කෘතීන්ට අයත් ජනතාවක් ජීවත් වන චෙන්නායි වැනි නගරයක දත්ත සමස්ත කලාපයටම නියෝජනයක් සපයන බව වෛද්‍ය මෝහන් පෙන්වා දෙයි. ඔහු ICMR-INDIAB අධ්‍යයනය ද උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ, කලාපීය වශයෙන් ප්‍රධාන ආහාරය වෙනස් වුවද, අධික ලෙස කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කිරීමේ බලපෑම සෑම තැනකම දක්නට ලැබෙන බවයි.



ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගත් විට, අතිරික්තය අක්මාව තුළ මේදය බවට පත් වී ට්‍රයිග්ලිසරයිඩ ලෙස රුධිරයට මුදා හැරේ. මෙය LDL සහ HDL (හොඳ කොලෙස්ටරෝල්) වල සංයුතිය වෙනස් කරමින්, ධමනි බිත්තිවල බැඳී අවහිරතා ඇති කළ හැකි කුඩා, වඩාත් ඝනකම් LDL අංශු නිර්මාණය වීමට හේතු වේ. මේ නිසා, සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ සුදු සහල් වෙනුවට නිවුඩ්ඩ සහිත දුඹුරු සහල් ද, මයිදා වැනි පිරිපහදු කළ පිටි වෙනුවට සම්පූර්ණ තිරිඟු පිටි ද තෝරා ගැනීම වඩාත් සුදුසු බව ඔහුගේ උපදෙස් වෙයි. එමෙන්ම පොල්තෙල්, පාම් තෙල්, ගිතෙල් සහ බටර් වැනි කොලෙස්ටරෝල් ඉහළ නංවන සංතෘප්ත මේද වෙනුවට රටකජු, අබ, තල සහ සූරියකාන්ත තෙල් වැනි අසංතෘප්ත මේද භාවිතය වඩාත් සෞඛ්‍ය සම්පන්න වේ.

මෙය එක් ආහාර වර්ගයක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් නොව සමස්ත ආහාර රටාවේ තුලනයක් පවත්වා ගැනීමක් බව පර්යේෂණයේ සම කතුවරියක වන, ආචාර්ය මෝහන්ගේ දියවැඩියා විශේෂඥ මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්. එම්. අංජනා අවධාරණය කරයි. "මිනිසුන් කන්නේ එක් නිශ්චිත ආහාර වර්ගයක් පමණක් නෙවෙයි. හැම දෙයක්ම ශරීරයේ ක්‍රියාකාරීත්වයට දායක වෙනවා," යනුවෙන් ඇය පවසන්නීය. අධික ලෙස පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, රසකැවිලි සහ පැණි බීම ඊට වේගයෙන්ම බලපාන බව පෙන්වා දෙන ඇය, යම් හෙයකින් කාබෝහයිඩ්‍රේට් හෝ මේදය සහිත යමක් ආහාරයට ගන්නේ නම්, ඊට ප්‍රෝටීන් සහ තන්තු වැඩිපුර එක් කිරීමෙන් අහිතකර බලපෑම සමනය කරගත හැකි බව පවසයි.

සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟානක හැඩය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව ද වෛද්‍ය අංජනා සරල මඟපෙන්වීමක් ලබා දෙයි. ඇයට අනුව, පිඟානෙන් අඩක් පලා වර්ග ඇතුළු එළවළු සහ පළතුරු සඳහා වෙන් විය යුතුය. ඉතිරි අඩෙන් කාර්තුවක් ප්‍රෝටීන් සඳහාත්, අනෙක් කාර්තුව පිෂ්ඨය අඩු කාබෝහයිඩ්‍රේට් සඳහාත් වෙන් කළ යුතුය. ජලය මෙන්ම කිරි සහ මුදවපු කිරි වැනි ආහාරද මීට එක් කරගත හැකිය. කෙසේවෙතත් මෙම අනුපාතයන් පුද්ගලයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI), දියවැඩියා තත්ත්වය සහ පෝෂණ අවශ්‍යතා මත වෙනස් වීමට ඉඩ ඇත.

පැකට් කළ පළතුරු බීම වෙනුවට සම්පූර්ණ පළතුරු ද, අමු අමුවේ කෑමට ගත හැකි කැරට්, පිපිඤ්ඤා සහ තක්කාලි වැනි එළවළු හොඳින් සෝදා ආහාරයට ගැනීමත් ඇය අනුමත කරයි. පැකට් කළ ආහාරවලින් හැකිතාක් ඈත් වීම කාර්යබහුල ජීවිතයක් තුළ අපහසු වුවත් එය අතිශය වැදගත් බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

යහපත් ආහාර රටාවක් හරහා කොලෙස්ටරෝල් පරාමිතීන් වර්ධනය කරගත හැකි වුවද, හුදු ජීවන රටාව සහ ව්‍යායාම වෙනස් කිරීමෙන් පමණක් සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබෙන, ඉතා ඉහළ LDL මට්ටම් ඇති පුද්ගලයින් කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධීය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකළ යුතු බව ද මෙම විශේෂඥයෝ තරයේ අවධාරණය කරති. ජාන මගින් පූර්ව අනතුරු ඇඟවීමක් කළද, අපගේ සෞඛ්‍යයේ අවසන් තීරණය බොහෝදුරට රැඳී ඇත්තේ අප තෝරාගන්නා කෑම පිඟාන මතය.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)