වසරකට ආසන්න කාලයක් එකම තැනක නතර වී තිබූ දුම්රියක් යළි පීලි මත පණ ගැන්වී පේරාදෙණිය බලා පැමිණි ඊයේ (19) දිනය, එම දුම්රියේ ඉරණම සමඟ බැඳුණු තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. දිට්වා සුළි කුණාටුව හමුවේ දුම්රිය ආරක්ෂිතව නතර කිරීමට මුල් වූ එහි රියැදුරු මඩිගසේකර මහතා, වසර 44ක දීර්ඝ දුම්රිය සේවයට සමුදෙමින් විශ්‍රාම ගියේ ද ඊයේ දිනයේදීමය.
දිට්වා සුළි කුණාටුවෙන් දුම්රිය මාර්ගයට සිදු වූ හානි හේතුවෙන් ගම්පොළ සහ උලපනේ අතර තැඹිලිගල වරකාපිටිය දුම්රිය ස්ථානය අසල වසරකට ආසන්න කාලයක් නවතා තිබූ මෙම දුම්රිය ඊයේ (19) උදෑසන පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ආ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඇංජිමකින් සහ මැදිරි හතරකින් සමන්විත මෙම දුම්රිය යළි රැගෙන යාමට හැකි වූයේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුවය.
මෙම අසාමාන්‍ය නැවතුම ආරම්භ වූයේ ඉකුත් වසරේ නොවැම්බර් 27 වැනිදාය. "පාසල් දුම්රිය" ලෙස ප්‍රචලිත අංක 1153 දරන මෙම දුම්රිය, එදින පස්වරු 2.07ට සුපුරුදු පරිදි මහනුවරින් නාවලපිටිය බලා ගමන් ආරම්භ කළේය. එහෙත් දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ එයට සිය ගමනාන්තය වෙත ළඟා වීමට නොහැකි විය.
ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උප දුම්රිය පොළ ආසන්නයේදී දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නාය ගොස් තිබුණි. උලපනේ දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියේ ඉදිරි මාර්ගයට පස් කන්දක් වැටී තිබෙනු දුටු රියැදුරු, ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව දුම්රිය යළි ගම්පොළ දුම්රිය ස්ථානය වෙත පසුපසට ධාවනය කිරීමට රියැදුරු උත්සාහ කළේය. එහෙත් ඒ වන විට දුම්රිය පසුකර පැමිණි මාර්ගයේ ද, ගම්පොළ වරකාපිටිය දුම්රිය උපපොළ ආසන්නයේ තවත් නාය යෑමක් සිදුව ඇති බව ඔහුට දර්ශනය විය. ඉදිරියත් පසුපසත් අවහිර වූ එම තීරණාත්මක අවස්ථාවේදී, උලපනේ සහ වරකාපිටිය දුම්රිය උපපොළ අතර ආරක්ෂිත ස්ථානයක දුම්රිය නතර කිරීමට රියැදුරු සමත් විය.
එදින දුම්රියේ ගමන් ගත් රියැදුරන්ට සහ කාර්ය මණ්ඩලයට නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට හැකි වූයේ දින තුනකට පසුවය. එතැන් පටන් වසරකට ආසන්න කාලයක් දුම්රිය එම ස්ථානයේ නවතා තිබූ අතර, දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් ඊට අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබුණි.
එම අවස්ථාවේ දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට හැකි වූයේ රියැදුරුගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා බව දුම්රිය නවතා තිබූ උලපනේ වරකාපිටිය ගම්වාසීහු පවසති. ඉකුත් නොවැම්බර් 27 වැනිදා නතර වූ ඒ ගමන අවසන් කරමින් දුම්රිය යළි පේරාදෙණියට පැමිණි දිනයේදීම, දශක හතරකට වැඩි සිය දුම්රිය සේවය නිමා කරමින් මඩිගසේකර මහතා ද විශ්‍රාම යෑම මෙම පුවතට එක් කරන්නේ අපූරු අහඹුවකි.