උප පොලිස් පරීක්ෂක නිල ඇඳුමින් සැරසී පාසලකට පැමිණ මත්ද්‍රව්‍ය ආදීනව පිළිබඳව සිසු සිසුවියන්ට හරබර දේශනයක් පැවැත්වූ අයෙකු, සැබෑ ලෙසම පොලිස් නිලධාරියකු නොව රුපියල් දස දහසකට මිලදී ගත් නිල ඇඳුමකින් පෙනී සිටි ත්‍රිරෝද රථ රියැදුරකු බව හෙළි වුවහොත් එය කෙතරම් විශ්මයජනකද? නුවරඑළිය, ඩයගම ප්‍රදේශයේ පාසල් ගුරුවරියක රවටා රුපියල් ලක්ෂ තිස් හතරක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (19) පොලිස් අත්අඩංගුවට පත් තිස්හය හැවිරිදි පුද්ගලයකුගේ කතාව දිගහැරෙන්නේ එලෙසිනි.
මෙම සිදුවීම් පෙළෙහි ආරම්භය සනිටුහන් වී ඇත්තේ 2024 වසරේ මාර්තු 4 වැනිදාය. නුවරඑළිය මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි සැකකරු, එදින නිල ඇඳුමින් සැරසී ඩයගම ප්‍රදේශයේ රජයේ පාසලකට ගොස් එහි විදුහල්පතිවරයා හමු වී ඇතැයි කියැවේ. පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය පිළිබඳව දේශනයක් පැවැත්වීමට පැමිණි බව දැනුම් දී ඇති ඔහු, එදින මත්ද්‍රව්‍ය ආදීනව සම්බන්ධයෙන් හරබර දේශනයක් ද පවත්වා තිබේ.
එම දේශනයෙන් අනතුරුව විද්‍යාලයේ තරුණ ගුරුවරියක සමඟ කතාබස් කර දැන හඳුනාගත් ඔහු, පසු කලෙක ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එතැනින් නොනැවතුණු සැකකරු ඩයගම ප්‍රදේශයේම පදිංචි ගුරුවරියගේ නිවෙසට ගොස් ඇයගේ මවුපියන් ද හමු වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තිබේ. ඉන් අනතුරුව ඔහු නිතර එම නිවෙසට යෑමට ඒමට ද පුරුදු වී සිටි බව පැවසේ.
වංචාවේ තීරණාත්මක අදියර ආරම්භ වී ඇත්තේ ඉන් පසුවය. තමා සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබා ඇති බවත්, එම නිලයට අදාළ පුහුණුවීම් ලබා ගැනීම සඳහා නෝර්වේ රාජ්‍යයට යෑමට සිදුව ඇති බවත් සැකකරු සිය ගුරු පෙම්වතියට පවසා ඇතැයි පොලිසිය කියයි. සිය අනාගත සැමියාට හිමි වූ බව කියන මෙම උසස්වීම පිළිබඳව අසා ගුරුවරිය මෙන්ම ඇයගේ පවුලේ අය ද සතුටට පත් වී තිබේ. නෝර්වේ රාජ්‍යයේ පුහුණුවීමට යෑම සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් ඔහු අවස්ථා ගණනාවකදී ගුරුවරියගෙන් රුපියල් ලක්ෂ තිස් හතරක මුදලක් සිය ගිණුමට බැර කරවාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
කෙසේ වෙතත්, එතරම් විශාල මුදලක් සිය ගිණුමට බැර කර ගැනීමෙන් අනතුරුව මෙම වසරේ සිට සැකකරු ගුරුවරියගේ නිවෙසට පැමිණීම නතර කර ඇති බව කියැවේ. ඇය ලබා ගත් දුරකතන ඇමතුම්වලට ද ඔහු ප්‍රතිචාර දක්වා නොමැත. ඒ අනුව තමා වංචාකාරයකුට හසු වී ඇති බව වටහා ගත් තරුණ ගුරුවරිය, මෙම වසරේ අප්‍රේල් මස 3 වැනිදා නුවරඑළිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි (1) චන්දන බස්නායක මහතාගේ උපදෙස් මත, නුවරඑළිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර අබේසිංහ අධිකාරී මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ. සැකකරු ගුරුවරියට කතා කිරීම සඳහා භාවිත කළ ජංගම දුරකතන අංකයක් ඔස්සේ සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාජ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර, අක්කරේපත්තුව වසමට අයත් කන්නගිපුරම ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් විවාහකයකු මෙන්ම එක් දරු පියකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. යාපනය, අච්චුවේලී ප්‍රදේශයේ රියැදුරකු ලෙස සේවය කරමින් සිටින අතරතුර දැන හඳුනාගත් එම ප්‍රදේශයේම වෙසෙන රජයේ පාසල් ගුරුවරියක සමඟ ඔහු විවාහ වී සිටින බව පොලිසිය පැවසීය.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් විශේෂ තොරතුරු රැසක් අනාවරණය වී ඇත. ඔහු භාවිත කළ උප පොලිස් පරීක්ෂක නිල ඇඳුම කුරුණෑගල බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ට නිල ඇඳුම් සපයන වෙළෙඳසලකින් රුපියල් දස දහසකට මිලදී ගෙන ඇති බව හෙළි වී තිබේ. සිය රියැදුරු වෘත්තියේ නිරත වීමෙන් අනතුරුව එම නිල ඇඳුම ඇඟලාගෙන යතුරුපැදියකින් නුවරඑළිය සහ තදාසන්න ප්‍රදේශවල සැරිසැරීමට ද ඔහු පුරුදු වී සිටි බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.
එපමණක් නොව, උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සමඟ සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට පවා ඔහු කටයුතු කර තිබේ. පොලිස් භාරයට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එම ඡායාරූප සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය. මෙම සැකකරු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් විවාහ පොරොන්දු දී තවත් අයගෙන් මෙවැනි ආකාරයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇත්දැයි සොයා ගැනීම සඳහා පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.