2008 වසරේදී මඩකළපුව, එරාවුර් පොලිස් වසමේදී දේවදාස් සුරේෂ් කුමාර් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ තීන්දුව ඊයේ (19) ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නව දෙනාගෙන් අට දෙනකුට මඩකළපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ.
ප්රභාකරන් මහතා මරණ දඬුවම නියම කළේය.මෙම අපරාධය සිදුව ඇත්තේ 2008 වසරේ ජූනි 19 වැනි දිනය. එවකට චෙන්කලඩි කඳවුරට සම්බන්ධ ඊ.පී.ඩී.පී. සාමාජිකයන් පිරිසක් විසින් දේවදාස් සුරේෂ් කුමාර් නමැත්තා වාහනයකින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි. ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර වළ දමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බවද වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය විසින් ඊ.පී.ඩී.පී. සංවිධානයට අයත් නව දෙනකු අත්අඩංගුවට ගෙන මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. පැහැර ගැනීම සඳහා යොදාගත් බව කියන වාහනයද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. පසුව 2016 වසරේදී අදාළ නඩුව විභාගය සඳහා මහාධිකරණය වෙත යොමු කෙරුණු අතර, එහිදී දීර්ඝ කාලයක් පුරා නඩු විභාගය පැවැත්විණි.
ඊයේ ප්‍රකාශයට පත් කළ තීන්දුවෙන් රවී හෙවත් ධර්මලිංගම් ඉලමාරන්, වීරක්කුට්ටි සේකර්, විජේ හෙවත් මහේන්ද්‍රරාජා විනෝරාජ්, ජෙකා හෙවත් යෝගරාසා ජෙයකුමාර්, ශ්‍රී හෙවත් ශ්‍රී ස්කන්දරාජා නාගනාදන්, සිවා හෙවත් සොක්කලිංගම් නාගරාසා, අරුල් හෙවත් අරුණාචලම් රාමචන්ද්‍රන් සහ විජි හෙවත් ගොවින්දන් ප්‍රදීපන් යන අට දෙනාට දඬුවම් නියම විය. නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ පළමු චෝදනාව යටතේ මාස හයක ලිහිල් සිරදඬුවමක්ද, මනුෂ්‍ය ඝාතනයට අදාළ සෙසු චෝදනා යටතේ මරණ දඬුවමද අධිකරණය විසින් නියම කරනු ලැබීය. එමෙන්ම නඩුවේ නව වැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටද මඩකළපුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී රජයේ නීතිඥවරුන් වන එස්. අනුෂාංගන් සහ ටී. දර්ශිකා යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. තීන්දුවෙන් අනතුරුව මරණ දඬුවම නියම වූ අට දෙනා මඩකළපුව බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබූහ.