new-drug-daraxonrasib-against-pancreatic-cancer-proves-successful

මාරාන්තික අග්න්‍යාශ පිළිකාවට එරෙහි සටනේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හඳුන්වා දී ඇති නව ඖෂධයක් සායනික අත්හදා බැලීම්වලදී කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. දෛනිකව ලබාගන්නා පෙත්තක් වන 'ඩැරක්සොන්රැසිබ්' (daraxonrasib) නමැති මෙම නව ඖෂධය, ඇතැම් රෝගීන් සඳහා රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමට ආසන්නතම ප්‍රතිකාරය ලෙස මෙම ප්‍රධාන අත්හදා බැලීම මෙහෙයවූ ප්‍රධාන වෛද්‍යවරයා විසින් හඳුන්වා දී ඇත.




බාසිලෝනා නුවරදී පැවති යුරෝපීය පිළිකා පර්යේෂණ හා ප්‍රතිකාර සංවිධානයේ සැසිවාරයකදී ඉදිරිපත් කෙරුණු මෙම අධ්‍යයනයට අනුව, රසායනික චිකිත්සාව (chemotherapy) සමඟ මෙම නව ඖෂධය ලබා දුන් රෝගීන්ගෙන් සියයට 60කට මඳක් වැඩි පිරිසකගේ පිළිකා ගැටිති හැකිළී ගොස් හෝ සම්පූර්ණයෙන්ම අතුරුදන් වී තිබේ. මාස 18ක අධ්‍යයන කාලසීමාව තුළ රෝගීන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුගේ පිළිකා ගැටිති සම්පූර්ණයෙන්ම අතුරුදන් වූ අතර, අත්හදා බැලීමට සහභාගී වූ රෝගීන් 61 දෙනාගෙන් 55 දෙනෙකුගේම පිළිකා ගැටිති වර්ධනය වීම සමස්තයක් ලෙස නතර වී ඇත.

ප්‍රතිකාර ලබා වසරකට පසුවද අත්හදා බැලීමට එක් වූ රෝගීන්ගෙන් හතරෙන් තුනකට වැඩි පිරිසක් ජීවතුන් අතර සිටීම විශේෂත්වයකි. සාමාන්‍ය සම්මත ප්‍රතිකාර පමණක් ලබාගන්නා රෝගීන් අතරින් වසරකට පසු ජීවත් වන්නේ සියයට 45ක් පමණක් වන පසුබිමක මෙය විශාල ප්‍රගතියක් ලෙස සැලකේ.




නිව්යෝර්ක්හි මෙමෝරියල් ස්ලෝන් කෙටරින් පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය වුන්ග්කි පාර්ක් මෙම අධ්‍යයනය අග්න්‍යාශ පිළිකා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස හැඳින්වීය. "අප සතුව ඇති සුව කිරීමට ආසන්නතම ප්‍රතිකාරය මෙයයි. පිළිකාව පැතිරී ගිය මෙතරම් රෝගීන් පිරිසක් ඖෂධයකට සම්පූර්ණයෙන්ම ප්‍රතිචාර දක්වනු අප මීට පෙර කිසිදා දැක නැහැ," යැයි ඔහු පැවසීය. සාමාන්‍යයෙන් මාස 18ක් වැනි කාලයක් තුළ ස්කෑන් පරීක්ෂණවලින් පිළිකාව අතුරුදන් වී යාම සම්පූර්ණ සුවයකට අප ළඟා වූ ආසන්නතම අවස්ථාව බවත්, එය ඇදහිය නොහැකි තත්ත්වයක් බවත් වෛද්‍ය පාර්ක් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නව ඖෂධය ක්‍රියා කරන්නේ විකෘති වූ 'KRAS' ජානය ඉලක්ක කරගනිමින් එයට සම්බන්ධ වීමෙනි. අග්න්‍යාශ පිළිකා ගැටිතිවලින් සියයට 90කට පමණ හේතු වන මෙම ජානය, පිළිකා සෛල වර්ධනය වීමට සහ ගුණනය වීමට අඛණ්ඩව සංඥා නිකුත් කරයි. එම ක්‍රියාවලිය අක්‍රීය කිරීම මගින් පිළිකා ගැටිති පැතිරීම වැළැක්වීමට මෙම ඖෂධයට හැකියාව ලැබේ. කෙසේ වෙතත්, අග්න්‍යාශ පිළිකාව නිතරම ඖෂධ ප්‍රතිකාරවලට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩනඟා ගන්නා බැවින්, මෙම ප්‍රතිඵල මගින් අදාළ රෝගීන් සදාකාලිකවම පිළිකාවෙන් තොරව සිටින බව අදහස් නොවන බවද වෛද්‍ය පාර්ක් පෙන්වා දුන්නේය. එසේ වුවද මෙම අත්හදා බැලීම මෙම රෝගයට එරෙහි සටනේ වැදගත් ඉදිරි පියවරක් වනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කළේය.



එක්සත් රාජධානියේ පමණක් වසරකට පුද්ගලයන් 11,500ක් පමණ අග්න්‍යාශ පිළිකාවට ගොදුරු වන බව හඳුනා ගැනෙන අතර, ඉන් 10,200ක් පමණ දෙනා මිය යති. නව පිළිකා රෝගීන්ගෙන් සියයට 3ක් පමණක් මෙම වර්ගයට අයත් වුවද, බ්‍රිතාන්‍යයේ පිළිකා මරණ සඳහා බලපාන පස්වන ප්‍රධානතම හේතුව බවට එය පත්ව තිබේ. රෝගය හඳුනාගෙන වසර පහකට පසුවත් ජීවතුන් අතර සිටින්නේ රෝගීන් 100 දෙනෙකුගෙන් හය දෙනෙකුටත් වඩා අඩු පිරිසක් වන අතර, ඒ හේතුවෙන් මෙය බහුලව දක්නට ලැබෙන මාරාන්තිකම පිළිකා වර්ගයක් ලෙස සැලකේ.

මෙම නව ප්‍රතිඵල දිරිගන්වනසුලු බව පැවසූ 'Pancreatic Cancer UK' ආයතනයේ පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය මදීනා කාරා සඳහන් කළේ, අග්න්‍යාශ පිළිකාව වැලඳෙන පුද්ගලයන්ගෙන් අඩක්ම රෝගය හඳුනාගෙන මාස තුනක් ඇතුළත මිය යන බවයි. සිය ආදරණීයයන් සමඟ තවත් වටිනා කාලයක් ගත කිරීම වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානම් බව ඇය පැවසුවාය. උත්සන්න වූ අග්න්‍යාශ පිළිකාවෙන් පෙළෙන පුද්ගලයන්ට සැබෑ බලාපොරොත්තුවක් ලබා දෙන වර්ධනය වෙමින් පවතින සාක්ෂි සමූහයක කොටසක් ලෙස මෙම සොයාගැනීම් හැඳින්වූ ඇය, අග්න්‍යාශ පිළිකා පර්යේෂණ සහ සායනික අත්හදා බැලීම් සඳහා ආයෝජන ඉහළ නංවමින් දැනට ඇති වී තිබෙන ප්‍රවණතාව ඉදිරියට ගෙන යාමට බ්‍රිතාන්‍ය රජය පියවර ගත යුතු බවද අවධාරණය කළාය. එමගින් ප්‍රතිඵල වැඩිදියුණු කළ හැකි අධ්‍යයන සඳහා තවත් රෝගීන්ට සහභාගී වීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

අග්න්‍යාශ පිළිකාව පැතිරී යන තෙක්ම පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් එයට ප්‍රතිකාර කිරීම අතිශය දුෂ්කර වී තිබේ. උදරයේ ඉහළ කොටසේ හෝ පිටුපස ඇති වන වේදනාව, පැහැදිලි හේතුවක් නොමැතිව බර අඩු වීම, අජීර්ණය, මලපහ පිටවීමේ රටාවේ වෙනස්කම් සහ සෙංගමාලය මෙහි මූලික අනතුරු ඇඟවීමේ ලක්ෂණ අතරට ඇතුළත් විය හැකිය. රෝගය උත්සන්න වන අවස්ථාව වන විට, අග්න්‍යාශ පිළිකාව සුව කිරීමේ හැකියාව ඇති දැනට පවතින එකම ප්‍රතිකාරය වන ශල්‍යකර්ම සිදු කිරීමද බොහෝ විට තවදුරටත් කළ නොහැකි තත්ත්වයට පත් වේ.