the-deadline-for-submitting-tax-reports-which-was-scheduled-for-tomorrow-30-has-been-extended-to-december-14

නියමිත අවසන් දිනය ආසන්න වෙමින් තිබියදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ දැඩි තදබදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටි බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට විශේෂ සහන කාලයක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර ගොනු කරන බදු ගෙවන්නන්ට එරෙහිව කිසිදු දණ්ඩනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව, ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම තැනැත්තන් 2025/2026 තක්සේරු වර්ෂයට අදාළ සිය ආදායම් බදු වාර්තාව 2026 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ගොනු කිරීම නීත්‍යානුකූලව අනිවාර්ය වී තිබිණි. එහෙත්, මෙම තීරණාත්මක කාලසීමාව තුළ දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් RAMIS පද්ධතියට දැරිය නොහැකි තරමේ පීඩනයක් එල්ල වීමත් සමඟ තත්ත්වය වෙනස් වී ඇත.

මෙම පද්ධති තදබදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා පළමු වරට ආදායම් බදු වාර්තා ගොනු කරන නව බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාවේ සිදු වූ සීඝ්‍ර වර්ධනයයි. 2026 නොවැම්බර් මාසය තුළ RAMIS පද්ධතිය වෙත එල්ල වූ මෙම දැඩි පීඩනය හේතුවෙන් වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් හටගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට සිය වාර්තා ඉදිරිපත් කිරීමේදී දුෂ්කරතා සහ ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වන බවටත්, ඇතැම් පිරිස්වලට නියමිත කාලසීමාව තුළ වාර්තා ගොනු කිරීමට අපහසු වනු ඇති බවටත් වාර්තා වී තිබේ.




මෙම ප්‍රායෝගික අපහසුතාව සැලකිල්ලට ගනිමින් ලබා දී ඇති සහනය යටතේ, 2026 දෙසැම්බර් 14 හෝ ඊට පෙර සිය ආදායම් බදු වාර්තා ඉදිරිපත් කරන කිසිදු බදු ගෙවන්නෙකුට දණ්ඩන පැනවීමක් සිදු නොවේ. එමෙන්ම, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම හෝ දේශීය ආදායම් පනතේ XVIIඅ සහ XVIII වන පරිච්ඡේද යටතේ නඩු පැවරීම වැනි නීතිමය ක්‍රියාමාර්ගවලට ඔවුන් යටත් නොකරන බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වසරින් වසර බදු දැලට එක්වන පිරිස ඉහළ යන පසුබිමක, අවසන් මොහොතේ ඇති වන මෙවැනි තදබදයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී කල්තියා කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි. "සෑම වසරකම ආදායම් බදු සඳහා ලියාපදිංචි වන බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නියමිත අවසන් දිනට බොහෝ කලකට පෙර සිටම ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ පහසුකම් සලසා දෙන බැවින්ද, ඉදිරි වර්ෂවලදී හැකි ඉක්මනින් සිය ආදායම් බදු වාර්තා ගොනු කරන ලෙස බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේම, මෙම සහන කාලසීමාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සියලුම බලපෑමට ලක් වූ බදු ගෙවන්නන් තම ආදායම් බදු වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු ලැබේ." යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.