නවසීලන්තයේ මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වීමත් සමග වත්මන් දක්ෂිණාංශික සන්ධානයට නව රජයක් පිහිටුවීම සඳහා නවක මධ්‍යස්ථ මතධාරී පක්ෂයක සහාය අත්‍යවශ්‍ය වී තිබේ. මූලික ප්‍රතිඵල අනුව නැෂනල් පක්ෂයට සහ එහි හවුල්කාර පක්ෂ දෙකට ආසන දෙකක සුළු බහුතරයක් හිමිව තිබුණද, විදේශගත සහ ඡන්ද කොට්ඨාසයෙන් බැහැර ඡන්දදායකයන් ප්‍රකාශ කළ විශේෂ ඡන්ද 485,000කට ආසන්න සංඛ්‍යාවක් ගණන් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම ඊයේ අවසන් ප්‍රතිඵල නිකුත් කළේය.
ඒ අනුව නැෂනල් පක්ෂයට හිමිව තිබූ ආසන දෙකක් අහිමි වී ආසන 40ක් දක්වා පහත වැටුණු අතර, ලිබටේරියන් ඇක්ට් (Act) පක්ෂයට ආසන 13ක් සහ ජනප්‍රියවාදී නිව්සීලන්ඩ් ෆස්ට් (New Zealand First) පක්ෂයට ආසන 12ක් හිමි විය. ආසන 130කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 66ක් අවශ්‍ය වුවද, මෙම සන්ධානයට හිමිව ඇත්තේ ආසන 65ක් පමණි.මේ අතර ලේබර් පක්ෂය පක්ෂ ඡන්ද 863,238ක් ලබා ගනිමින් නැෂනල් පක්ෂය ලැබූ ඡන්ද 819,012 අභිබවා ගියද ඔවුන්ට හිමිව ඇත්තේ ආසන 36ක් පමණි. පක්ෂ ඡන්ද ප්‍රතිශතයෙන් ඉහළම කොටස හිමිකර ගැනීම පිළිබඳව ආඩම්බර වන නමුත් ආණ්ඩු වෙනසක් සිදු කිරීමට නොහැකි වීම ගැන කනගාටු වන බව ලේබර් පක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් පැවසීය.
සංශෝධිත ප්‍රතිඵල අනුව බලය පිහිටුවීම සඳහා යථාර්ථවාදී මාවතක් ඇත්තේ නැෂනල් පක්ෂය ප්රමුඛ සන්ධානයට පමණි. ඒ සඳහා ආසන 7ක් හිමිකරගෙන සිටින මධ්‍යස්ථ මතධාරී ඔපචුනිටි (Opportunity) පක්ෂය සමග එකඟතාවකට පැමිණීමට ඔවුන්ට සිදුවේ. එසේ නොවුවහොත් නවසීලන්ත වැසියන්ට යළිත් මැතිවරණයකට යෑමට සිදුවිය හැකිය. විශේෂ ඡන්ද ගණන් කිරීමේදී ආසන තුනක හිමිකාරිත්වය වෙනස් වී ඇති බැවින් නැෂනල් පක්ෂය දෙසැම්බර් 3 වැනිදාට පෙර යළි ගණන් කිරීමක් ඉල්ලා ඉන් එක් ආසනයක් හෝ යළි දිනා ගතහොත් ඔවුන්ට සුළු බහුතරයකින් බලයට පැමිණිය හැකිය.
වත්මන් අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් මීට පෙර ඔපචුනිටි පක්ෂය සමග එක්ව වැඩ කිරීම ප්‍රතික්ෂේප කර තිබුණද මේ වන විට සිය ස්ථාවරය ලිහිල් කරමින් පොදු එකඟතාවක් සොයා ගැනීමට අපේක්ෂා කරන බව පවසා ඇත. කුඩා පක්ෂ තුන සමග විධිමත් සාකච්ඡා ආරම්භ කරන බවත් එය අභියෝගාත්මක මෙන්ම කාලය ගතවන ක්‍රියාවලියක් වනු ඇති බවත් ඔහු ඊයේ සඳහන් කළේය. "ඉක්මනින් කරනවාට වඩා නිවැරදිව කිරීම ඉතා වැදගත්. ඉක්මන් වී බිඳ වැටෙන එකඟතාවකට යෑම හෝ යළි ඡන්දයකට යැවීම ගැන නවසීලන්ත වැසියන් අපට ස්තුති කරන්නේ නැහැ" යනුවෙන් ලක්සන් පැවසීය.
වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥ ලාරා ග්‍රීව්ස් පවසන්නේ පක්ෂ හතර අතර සාකච්ඡා අතිශය සංකීර්ණ වනු ඇති බවයි. "යළිත් මැතිවරණයකට යෑමට අපට මෙතෙක් තිබූ ඉහළම අවස්ථාව මෙයයි" ඇය සඳහන් කළාය.
ඕක්ලන්ඩ් ව්‍යාපාරික කාන්තාවක වන කියුලේ වොන්ග් නායකත්වය දෙන ඔපචුනිටි පක්ෂය, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂය සමග පළමුව සාකච්ඡා කරන බව දිගු කලක් තිස්සේ ප්‍රකාශ කර තිබුණි. අවසන් ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇය ලක්සන් සමග සාකච්ඡා කරන බව තහවුරු කළද, තම පක්ෂයේ ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු නම්‍යශීලීභාවයක් නොදක්වන බවත් යළි මැතිවරණයකට යෑමේ හැකියාව බැහැර නොකරන බවත් කියා සිටියාය. නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැල් ඒකාධිකාරියට එරෙහිව පියවර ගැනීම, දේශපාලන පරිත්‍යාග සීමා කිරීම, සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා වසර 10ක සර්වපාක්ෂික සැලැස්මක්, ධීවර කර්මාන්තයේ පතුල් ඇදගෙන යන දැල් භාවිතය නතර කිරීම සහ දේශගුණික කැපවීම් ශක්තිමත් කිරීම එම පක්ෂයේ ප්‍රධාන කොන්දේසි පහ වේ.
මේ අතර නිව්සීලන්ඩ් ෆස්ට් පක්ෂයේ නායක වින්ස්ටන් පීටර්ස් විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ නම් තමන් කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැති බව වොන්ග් අවධාරණය කර ඇත. පසුගිය රජයන් කිහිපය තුළ ඔහුගේ හැසිරීම එවැනි ධුරයක සිටින පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන ආකාරයේ හැසිරීමක් නොවන බව ඇයගේ අදහසයි. එමෙන්ම දේශගුණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිව්සීලන්ඩ් ෆස්ට් සහ ඇක්ට් පක්ෂ අතර දැඩි මතභේද පවතින අතර, දේශපාලන පරිත්‍යාග ප්‍රතිසංස්කරණ සඳහා ඇක්ට් පක්ෂය සහාය දැක්වීමට ඇති ඉඩකඩ ද අඩුය.
නත්තලට තවත් සති හතරක් පමණක් තිබියදී නවසීලන්තය සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිව්පාක්ෂික සන්ධාන රජයක් පිහිටුවීම සඳහා සති ගණනාවක සාකච්ඡාවලට මුහුණ දී සිටින අතර, මීළඟ රජයේ ස්වරූපය දැනගැනීමට නවසීලන්ත වැසියන්ට 2027 වසර දක්වා බලා සිටීමට පවා සිදුවිය හැකිය.