new-bill-approved-with-changes-to-immigration-system

ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය නව තාක්ෂණය සමඟ මුසු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කිරීම අරමුණු කරගත් 'ආගමන පනත් කෙටුම්පතට' රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සංශෝධනවලට යටත්ව මෙම අනුමැතිය ලබා දී ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.




පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් යුතුව නොවැම්බර් 18 වැනිදා රැස්වූ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. දැනට පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කර ඇති මෙම නව පනත් කෙටුම්පත මගින්, මෙරට දැනට ක්‍රියාත්මක වන 351 වැනි අධිකාරිය වූ ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසරපත් පනත අහෝසි කර ඒ වෙනුවට නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට නියමිතය.

නව පනත් කෙටුම්පතේ ඇතුළත් ප්‍රධානතම යෝජනාවක් වන්නේ ස්වයංක්‍රීය විද්‍යුත් ද්වාර හෙවත් 'ඊ-ගේට්ස්' (E-Gates) පද්ධතිය හඳුන්වා දීමයි. ඒ හරහා ගමන් බලපත්‍රවල භෞතිකව මුද්‍රා තැබීමකින් තොරව ආගමන විගමන නිෂ්කාශන කටයුතු සිදු කර ගැනීමට මගීන්ට අවස්ථාව සැලසේ. එමෙන්ම, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව ජෛවමිතික දත්ත රැස් කිරීම සහ ගබඩා කිරීම සඳහා අවශ්‍ය නීතිමය ආරක්ෂණ විධිවිධාන ද මෙමගින් හඳුන්වා දී තිබේ.




පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නීතිමය අභියෝග හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සංශෝධන යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බව නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙන ලදී. මීට අමතරව, ශ්‍රී ලාංකික පුරවැසියන් සමඟ විවාහ වී සිටින විදේශීය ජාතිකයන් සඳහා වීසා බලපත්‍ර ලබා දීමට අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.

ජාතික ආරක්ෂාව සහ නීති විරෝධී ක්‍රියා මැඩලීම වෙනුවෙන් ද මෙම කෙටුම්පත මගින් විශේෂ බලතල කිහිපයක් යෝජනා කර ඇත. ඒ අනුව, අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ඇතුළු වීම වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ට සීමිත බලතල පැවරීමට ප්‍රතිපාදන සලසා තිබේ. අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් මගින් මෙම බලතල පැවරිය හැකිය.



තවද, යම් පුද්ගලයෙකු නීත්‍යානුකූලව මෙරටින් පිටව ගොස් තිබුණද, ව්‍යාජ ගමන් ලියකියවිලි භාවිත කරමින් විදේශයන්හිදී සිදු කරන මිනිස් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ නීතිමය පියවර ගැනීමට ද නව නීතියෙන් ඉඩ සැලසේ. එවැනි සංවිධානාත්මක නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධ නඩු විභාග කිරීම මහාධිකරණය හමුවේ සිදු කිරීමට නියමිතය.

පරිපාලනමය වෙනස්කම් රැසක් ද සිදු කරමින් ආගමන විගමන පද්ධතියේ නිල නාමයන් කිහිපයක් යාවත්කාලීන කිරීමට ද පනත් කෙටුම්පත මගින් පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට පවතින 'පාලක' (Controller) සහ 'නියෝජ්‍ය පාලක' (Deputy Controller) යන තනතුරු නාමයන් වෙනුවට 'පාලක ජනරාල්' (Controller General) සහ 'අතිරේක පාලක ජනරාල්' (Additional Controller General) යන නව තනතුරු නාමයන් ආදේශ කෙරේ. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන සිදු කිරීමට යටත්ව මෙම පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.