
කොළඹ පෝර්ට් සිටි පරිශ්රයේ පැවැත්වෙන දෙදින ‘සෙන්ටර්’ (Senter) සංගීත සැණකෙළිය සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්යන්තර කීර්තියට පත් ප්රංශ ජාතික ඩීජේ ශිල්පියෙකු මෙන්ම සංගීත නිෂ්පාදකයෙකු වන ඩීජේ ස්නේක් (DJ Snake) ඇතුළු ජාත්යන්තර කලාකරුවන් පිරිසක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා හමුවිය. කොළඹදී පැවති මෙම හමුවේදී ශ්රී ලංකාවේ ප්රසංගයක් පැවැත්වීම සඳහා ලද ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් සහ මෙරට වර්ධනය වෙමින් පවතින ජාත්යන්තර විනෝදාස්වාද ක්ෂේත්රයට ලබාදෙන දායකත්වය වෙනුවෙන් අමාත්යවරයා එම කලාකරුවන්ට සිය ස්තූතිය පළ කළේය.
එමෙන්ම ශ්රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමය මෙන්ම මෙරට ආගන්තුක සත්කාරය අත්විඳිමින් නිවාඩුවක් ගත කිරීම සඳහා යළිත් ශ්රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්යවරයා මෙහිදී ඩීජේ ස්නේක් වෙත විශේෂ ආරාධනයක්ද සිදු කළේය.
සංචාරක ක්ෂේත්රය ප්රවර්ධනය කිරීම උදෙසා මෙවැනි ජාත්යන්තර සංගීත සැණකෙළි සහ ප්රසංග මගින් ඉටුවන වර්ධනය වන කාර්යභාරය පිළිබඳව පෙන්වා දුන් විජිත හේරත් මහතා, ශ්රී ලංකාව ජාත්යන්තර විනෝදාස්වාදයේ සහ ප්රධාන පෙළේ ඉසව්වල කලාපීය කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමට රජය කැපවී සිටින බව ප්රකාශ කළේය. වැඩි වැඩියෙන් ජාත්යන්තර කලාකරුවන් සහ ප්රසංග මෙරටට ආකර්ෂණය කරගැනීම තුළින් ගෝලීය වශයෙන් ශ්රී ලංකාව කෙරෙහි ඇති අවධානය ඉහළ යන බවත්, සංචාරක පැමිණීම් ඉහළ නැංවීමට මෙන්ම නව ආර්ථික අවස්ථා උදාකිරීමට එය මඟපාදන බවත් අමාත්යවරයා අවධාරණය කළේය.
තරුණ පරපුර සතු නිර්මාණශීලිත්වය සහ උද්යෝගය හඳුනාගනිමින්, ඔවුන්ට සංගීතය, විනෝදාස්වාදය මෙන්ම සංස්කෘතික ක්රියාකාරකම්වල නිරතවීම සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කමද අමාත්යවරයාගේ විශේෂ අවධානයට ලක්විය.
මෙම හමුවේ මූලික අවධානය යොමුවූයේ ශ්රී ලංකාව විනෝදාස්වාද සංචාරක ව්යාපාරයේ ජාත්යන්තර ගමනාන්තයක් ලෙස ශක්තිමත් කිරීම කෙරෙහිය. ඒ අනුව මෙරටට තවදුරටත් ගෝලීය මට්ටමේ ඉසව් රැගෙන ඒමට පෙරට එන ලෙස කලාකරුවන්, උත්සව සංවිධායකයින් සහ ආයෝජකයින් දිරිමත් කිරීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
කටුනායකදී ඔහු පිළිගන්නා අවස්ථාවේ අපූරු නර්තනයකද ඔහු නිරතවීම විශේෂිතය.
