
පසුගිය ඔක්තෝබර් 30 වනදා මහනුවරින් අපූරු පාගමනක් ආරම්භ විය. අව් කණ්ණාඩියක් පැළඳ, නාගයෙකුගේ රුව කැටයම් කළ ලී බස්තමක් අතැතිව ගමන් ගත් ‘රත්නපුර බෝධිධම්ම’ නමින් හැඳින්වෙන හිමිනමක් විසින් කොළඹ බලා මෙම ගමන ආරම්භ කළේ ‘සිංහල බෞද්ධයා එකතු කිරීමේ පාගමන’ යන තේමාව පෙරදැරිවය.
නමුත් මෙම පාගමනට වඩා වේගයෙන් එදින සමාජ මාධ්ය ඔස්සේ වෙනත් ප්රවෘත්තියක් පැතිර යන්නට විය. ඉන් කියවුණේ මෙම පාගමනේ නිරත වන්නේ සැබෑ භික්ෂුවක් නොව, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්රීවරයෙකු වූ ග්රේෂන් කෙරමිණියගේ නැමැත්තා බවයි.ඡායාරූප මගින් පුද්ගලයන් දෙදෙනෙකු සංසන්දනය කරමින් සමාජ මාධ්යයේ පැතිර ගිය මෙම ප්රකාශය මුළුමනින්ම අසත්යයක් බව පසුව තහවුරු විය. මේ පිළිබඳව දුරකථනයෙන් කළ විමසීමකදී ග්රේෂන් කෙරමිණියගේ මහතා සඳහන් කළේ බෝධිධම්ම හිමියන් සහ තමන් පටලවා ගනිමින් අසත්ය තොරතුරක් සමාජගත වී ඇති බවයි. තමන් මේ වන විට දේශපාලනයෙන් ඈත්ව බලපිටිය ප්රාදේශීය සභාවේ රාජකාරි කරන බවද ඔහු එහිදී පැවසීය.
සමාජ මාධ්ය තුළ මෙවැනි සැකයක් මතු වීමට තරම් ග්රේෂන් කෙරමිණියගේ යනු කවුරුන්ද යන්න පසුගිය කාලයේ සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙයි. 2021 වසරේදී සිය අමුතු ප්රකාශ සහ ක්රියාකාරකම් හේතුවෙන් ඔහු සමාජ මාධ්ය තුළ දැඩි උපහාසයට ලක්වූ චරිතයකි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අගභාගයේදී ‘පහනට තෙල්’ නමින් ජාතික ව්යාපාරයක් ආරම්භ කළ ඔහු, මහින්ද රාජපක්ෂ මහතාගේ පරම්පරාවේ මාතාවක වූ දන්දිනා රාජපක්ෂ මැතිනිය මරණින් මතු දේවාත්මයක් ලබා රුවන්වැලිසෑය සහ ජය ශ්රී මහා බෝධිය අසල වැඩසිටින බවට ප්රකාශ කළේය. ඇයට පින් අනුමෝදන් කිරීම සඳහා පහනට තෙල් ලබාදිය යුතු බව පවසමින් ඔහු අම්බලන්තොට නගරයේ සිදුකළ ක්රියාකාරකමකදී ප්රකෝප වූ ජනතාව ඔහුට පහර දී එලවා දැමූ අතර, ඉන්පසු ඔහුගේ සමාජ මාධ්ය ගිණුම්වල ක්රියාකාරීත්වය ද ඇනහිට තිබුණි.
මෙම අතීත සිදුවීම් මත පදනම්ව තමන්ට එරෙහිව දියත් වූ සමාජ මාධ්ය ප්රචාරය සම්බන්ධයෙන් රත්නපුර බෝධිධම්ම හිමියන් එදිනම සිය සංවිධානයේ පිටුව හරහා ‘නිල මාධ්ය ප්රකාශයක්’ නිකුත් කළේය. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ ග්රේෂන් කෙරමිණියගේ නමැත්තෙකු පිළිබඳව තමන් දැනගත්තේ ද තමන්ගේ ඡායාරූපයක් සංස්කරණය කරමින් සමාජ මාධ්යයේ පළවීමෙන් පසුව බවයි.
මෙම මඩ ප්රචාරය පිටුපස ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් සිටින බවට චෝදනා කළ බෝධිධම්ම හිමියන්, තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව ප්රකාශ කළේය. යම් පුද්ගලයෙකු කළ පරිත්යාගයක් මත ලද නාග යෂ්ටිය ද අතැතිව සිය පාගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පැවසූ උන්වහන්සේ, සමාජ මාධ්ය ඔස්සේ මෙම අසත්ය ප්රචාරය සිදුකළ සියලුම ගිණුම් හිමිකරුවන්ට එරෙහිව පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර නඩු කටයුතු දක්වා දැඩි නීතිමය පියවර ගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළේය.