රාත්රිය පුරා කොතල හිඹුටු ලීයෙන් කළ කෝප්පයක රඳවා තැබූ ජලය පසුදා උදෑසන හිස්බඩ පානය කිරීම පැරණි සිංහල වෙදකමේ එන සුලභ පුරුද්දකි. ශ්රී ලංකාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ වියළි සහ තෙත් කලාපීය වනාන්තරවල ස්වාභාවිකව වැඩෙන කොතල හිඹුටු නැමැති මෙම වැල් වර්ගය, අතීතයේ සිටම ආයුර්වේදයේ මධුමේහය හෙවත් දියවැඩියාව පාලනය සඳහා භාවිත වූ ප්රබල ඔසුවකි.
වර්තමානය වන විට මෙම දේශීය ශාකය දියවැඩියා රෝගීන් සඳහා ප්රධානතම ඖෂධයක් ලෙස ලොව පුරා ප්රසිද්ධියට පත්ව තිබේ.මෙම ශාකයේ මුල්, කඳ සහ පොතු දියවැඩියාව පාලනයට යොදා ගැනෙන අතර, ඊට නවීන විද්යාත්මක පදනමක් ද පවතී. කොතල හිඹුටු වල අඩංගු සක්රීය රසායනික සංයෝග මගින් බඩවැලේ ඇති එන්සයිමයක් නිෂේධනය කරනු ලබයි. මෙහි ප්රතිඵලයක් ලෙස ආහාර මගින් ගන්නා සංකීර්ණ කාබෝහයිඩ්රේට් හෙවත් සීනි සහ පිෂ්ඨය ග්ලූකෝස් බවට පරිවර්තනය වීමේ වේගය අඩාල වන අතර, ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම එක්වරම ඉහළ යාම වළක්වයි. මෙය බටහිර ඖෂධ ක්රියාත්මක වන යාන්ත්රණයකට සමාන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත.
මෑතකදී සිදුකළ සායනික පරීක්ෂණ මගින් ද මෙම ගුණාංග තහවුරු වී තිබේ. 2023 වසරේදී ශ්රී ලංකාවේ සිදුකරන ලද පර්යේෂණයකට අනුව, කොතල හිඹුටු නිස්සාරණය අඩංගු බිස්කට් වර්ගයක් කෙටි ආහාරයක් ලෙස ගත් විට රුධිරයේ සීනි මට්ටම පෙන්වන දර්ශකයක් වන HbA1c ප්රතිශතය අඩු වී ඇත. තවද, ඉන් වකුගඩු හෝ අක්මා ක්රියාකාරීත්වයට බරපතල හානියක් සිදු නොවන බැවින් එය ආරක්ෂිතව නිර්දේශ කළ හැකි බව එමගින් නිගමනය විය. පැරණි දේශීය අධ්යයන මගින් ද කොතල හිඹුටු තේ ලෙස පානය කිරීමෙන් නිරාහාර රුධිර සීනි මට්ටම සැලකිය යුතු ලෙස අඩු වන බවත්, ඇතැම් අවස්ථාවලදී දියවැඩියා ඖෂධ මාත්රාව අඩු කිරීමට එය ඉවහල් වූ බවත් තහවුරු වී ඇත.
රුධිරයේ සීනි පාලනයට අමතරව, මෙය සිරුරේ අනවශ්ය මේදය දහනය කරමින් ආහාර රුචිය සමබර කරන බැවින් ස්ථුලතාවය අඩු කර ගැනීමට අපේක්ෂා කරන්නන්ට ද කදිම විසඳුමකි. එමෙන්ම බඩවැල් මගින් අහිතකර කොලෙස්ටරෝල් ශරීරයට උරාගැනීම අවම කිරීමටත්, ඉන්සියුලින් සංවේදීතාව සහ මේද සෛල ක්රියාකාරිත්වය යහපත් කිරීමටත් මෙය දායක වේ. ආයුර්වේදයට අනුව රූමැටික් සන්ධි දැවිල්ල, චර්ම රෝග, මුත්රාශ රෝග සහ ශරීරයේ විෂ ඉවත් කිරීම සඳහා ද මෙය යොදා ගැනේ. වර්තමානයේදී මෙය තැම්බූ කසාය හෝ තේ වලට අමතරව, ඖෂධීය පාන සහ ආයුර්වේද කරල් ලෙස ද වෙළඳපොළෙන් ලබාගත හැකිය.
එහෙත් මෙම ඖෂධය භාවිතයේදී දැඩි සැලකිල්ලක් දැක්වීම අත්යවශ්ය වේ. දියවැඩියාව සඳහා දැනටමත් ඉන්සියුලින්, Metformin වැනි බටහිර ඖෂධ ලබාගන්නා රෝගීන් කොතල හිඹුටු ද සමඟින් ලබාගතහොත්, රුධිරයේ සීනි මට්ටම අසාමාන්ය ලෙස පහළ වැටී ක්ලාන්තය වැනි අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැක. දේශීය ආහාර සහ ඖෂධ හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව ශ්රී ලාංකික අධ්යයන මගින් ද හඳුනාගෙන ඇත. මීට අමතරව ගැස්, බඩ පිපීම, පාචනය, බඩේ වේදනාව සහ ඔක්කාරය වැනි ආමාශ ආශ්රිත අතුරු ආබාධ ද මෘදු මට්ටමින් මතු විය හැක.
මානව අධ්යයන බොහෝමයක් මාස තුනත් හයත් අතර කාලයකට සීමා වී ඇති බැවින් මෙහි දිගුකාලීන ආරක්ෂාව පිළිබඳ දත්ත සීමිතය. සත්ව අධ්යයනවලදී ඉහළ මාත්රාවලදී පවා බරපතල විෂ සහිත බවක් නොපෙන්වූවද, මීයන් යොදාගෙන කළ පර්යේෂණවලදී අඩු උපත් බර සහ ගැබ්ගැනීම් ආශ්රිත සංකූලතා වාර්තා වී ඇති බැවින් ගර්භණී සහ මව්කිරි දෙන මව්වරුන් මෙය භාවිතයෙන් වැළකී සිටිය යුතුය. එසේම ශල්යකර්මවලට භාජනය වන රෝගීන් රුධිර සීනි පාලනයට බාධා ඇතිවිය හැකි බැවින් ශල්යකර්මයට සති දෙකකට පෙර කොතල හිඹුටු භාවිතය නැවැත්විය යුතු වේ. වකුගඩු රෝගීන් සහ විවිධ ඖෂධ ලබා ගන්නා අය ද මෙය භාවිතයට පෙර වෛද්ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.
කොතල හිඹුටු යනු ශ්රී ලංකාවේ ජෛව සම්පත් අතර අතිශය වැදගත් ශාකයක් වන අතර, මේ වන විට එය අධික ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. මේ හේතුවෙන් වනාන්තරවලින් ස්වාභාවික වැල් ගැලවීමෙන් වැළකී සිටිය යුතු අතර, ශ්රී ලංකාව තුළ මෙම ශාකය කැපීම සහ අපනයනය කිරීම ද නියාමනය කර තිබේ. දියවැඩියා පාලනය සඳහා කොතල හිඹුටු සාර්ථක සාම්ප්රදායික ඔසුවක් වුවද, එය කිසිවිටෙකත් සම්පූර්ණ වෛද්ය ප්රතිකාරයක් සඳහා ආදේශකයක් කර නොගත යුතු අතර, වෛද්ය උපදෙස් සහ නිසි රුධිර නිරීක්ෂණ යටතේ භාවිත කිරීම වඩාත් සුදුසු වේ.
(අයුර්වේද වෛද්යාචාර්ය එල්.එම්. කොළඹගේ)