පසුගිය ඔක්තෝබර් 25 වැනිදා පිටකොටුව බස් නැවතුම්පොළේදී ඇති වූ අහඹු හමුවීමක්, දින කිහිපයක් ඇතුළත රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමකින් යුත් දේපළ කොල්ලයක් බවට පත්වීමේ පුවතක් බොරලැස්ගමුව, නීලම්මහර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
හැටහතර හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාවක එදින තම අවශ්‍යතාවක් සඳහා පිටකොටුවට ගොස් නැවත නිවෙසට පැමිණීම සඳහා බස් රථයක් අපේක්ෂාවෙන් රැඳී සිටියාය. එහිදී ඇයට 52 හැවිරිදි පුද්ගලයෙකු මුණගැසෙන අතර, තමන් කළුතර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සේවයේ නියුතු අයෙකු බව ඔහු පවසා තිබිණි. කෙටි කතාබහකින් පසු දෙදෙනා අතර කිසියම් අනියම් ඇසුරකට මුලපිරීමක් සිදුව ඇත. ඇයගේ දුරකතන අංක ඔහුට හුවමාරු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉන්පසු ගතවූ දින කිහිපය පුරාවටම ඔවුන් දුරකතනයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ. මෙම හිතවත්කම මත, කාන්තාවගේ ආරාධනයකට අනුව නොවැම්බර් 02 වැනිදා පෙරවරු 10.45ට පමණ අදාළ පුද්ගලයා කුලී ත්‍රිරෝද රථයකින් ඇය පදිංචි නීලම්මහර නිවෙසට පැමිණියේය. ඒ වන විට නිවෙසේ වෙනත් කිසිවෙකුත් සිට නැත.
නිවෙසට පැමිණි ඔහු, කේක්, රෝල්ස් සහ පැටිස් ඇතුළු කෙටි ආහාර මෙන්ම යෝගට් පානයක් ද රැගෙන ඒමට කටයුතු කර තිබිණි. සුහද කතාබහක් අතරතුර ඔහු විසින් ලබාදුන් යෝගට් පානය කාන්තාව විසින් පානය කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසූ පරිදි, එම පානය ගැනීමෙන් සුළු වේලාවකට පසු ඇයට නින්ද ගොස් ඇති අතර, ඇය නැවත අවදි වී ඇත්තේ එදින සවස 5.30ට පමණය.
අවදි වන විටත් සිහිමඳ ගතියෙන් පසුවූ මෙම කාන්තාව නිවෙසේ මෙන්ම ඉන් පිටතට ද ගොස් යාබද නිවාසවලට විවිධ දෑ පවසමින් ඇවිදීමට පටන් ගෙන තිබේ. මේ අතරතුර, එම නිවෙසේම පදිංචි ඇයගේ සමීප ඥාතිවරියක රැකියාව නිමවා නිවෙසට පැමිණ ඇති අතර, නිවෙසට සොරුන් ඇතුළු වී ඇති බව සිතා 119 හදිසි ඇමතුම් අංශය හරහා පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව බොරලැස්ගමුව පොලීසියේ නිලධාරීන් පැමිණ කළ විමර්ශනවලදී, මෙය බාහිරින් පැමිණි සොරුන්ගේ ක්‍රියාවක් නොව නිවෙස්කාරියගේ ආරාධනයෙන් පැමිණි පුද්ගලයා විසින්ම සිදු කළ කොල්ලයක් බව තහවුරු විය.
සිහිවිසඥ වී සිටි කාලය තුළ කාන්තාව පැලඳ සිටි පවුම් දෙකක රන් මාලය සහ පවුම් භාගයක පෙන්ඩනය ද, අල්මාරියේ දමා තිබූ පවුම් භාගය බැගින් වූ මුදු දෙකක්, පවුම් එකහමාරක වළල්ලක් සහ පවුම් කාලක මුද්දක් මෙන්ම ඇයගේ ස්මාර්ට් ජංගම දුරකතනය ද ඔහු විසින් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. කොල්ලකන ලද මුළු දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 17 ඉක්මවයි.
බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් පලිහවඩන මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිමුතු රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.