රත්නපුර නගරයේ ඔසුසල අසල හිඳිමින් කාරුණික ජනතාව අත තබන රුපියල දෙක එකතු කරන ඔහු, ඇතැම් දිනවල කුසට හරිහමන් අහරක්වත් නොගෙන ඒ සොච්චම් මුදල් පොදි බැන්දේ තමන්ගේ කුසගිනි නිවා ගැනීමට නොවේ. ජීවිතයෙන් සමුගත් සිය ආදරණීය බිරිය වන මුනි අම්මාට පින් පිණිස රෝගීන්ගේ දෙපා වාරු කරන්නටය.
එච්. සුනිල් නමැති ඒ අපූරු මිනිසාගේ අප්‍රතිහත කැපවීම මල්ඵල ගන්වමින්, රුපියල් විසි හත් දහසක් වටිනා රෝද පුටුවක් ඊයේ (24) කලවාන මූලික රෝහල වෙත පරිත්‍යාග කෙරිණි.මෙම පරිත්‍යාගය සිදු කිරීම සඳහා රෝද පුටුව රත්නපුර ප්‍රදේශයේ සිට කලවාන මූලික රෝහල දක්වා රැගෙන ඒමට ඔසු සලේ ලසන්ත කුමාර මහතා ඇතුළු පිරිස සිය සහයෝගය ලබා දී තිබේ. කලවාන මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සුසිල් කුමාර, කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගම ගෙදර යන මහත්වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රෝද පුටුව රෝහල වෙත භාර දෙන ලදී.
සුනිල් මහතා සිඟමන් යැදීමට යොමු වී ඇත්තේ ජීවිතයේ සැඳෑ සමයත් සමඟ ඇති වූ අසරණභාවය නිසාය. කලක් කරත්තයකින් බඩු භාණ්ඩ ඇද සිය දෑතේ වීරියෙන් මුදලක් උපයා ජීවත් වූ ඔහුට, වයසට යාමත් සමඟ තවදුරටත් එම රැකියාව කරගෙන යාමට නොහැකි විය. දරුවන් නොමැති ඔහුත්, ඔහු සමඟම සිඟමන් යදිමින් ජීවිතය ගැට ගසා ගත් බිරිය මුනි අම්මාත් අතර තිබුණේ දැඩි බැඳීමකි. කලකට ඉහත රෝගාතුර වූ මුනි අම්මා අනාථ නිවාසයක සිටියදී මෙලොවින් සමුගත් අතර, සිය බිරියට දැඩි ලෙස ආදරය කළ සුනිල් එතැන් පටන් සිඟමනෙන් ලැබෙන සුළු මුදල ඇය වෙනුවෙන් පුණ්‍ය කටයුතු සඳහා වෙන් කිරීමට තීරණය කළේය.
මහමඟ දිවි ගෙවන බැවින් බිරිය වෙනුවෙන් දානයක් උයා පූජා කිරීමට හැකියාවක් නොතිබූ ඔහු, පොදු ජනතාවට ප්‍රයෝජනවත් වන පින්කම් හරහා ඇයට පින් අනුමෝදන් කිරීමට පෙළඹුණි. ඒ අනුව මීට පෙර ද ඔහු සිඟමනෙන් එකතු කළ මුදලින් රත්නපුර බස් නැවතුම් පොළේ ඔර්ලෝසු සවි කිරීමට සහ පිරිකර පූජා කිරීමට කටයුතු කර තිබේ.
එහෙත් මුනි අම්මා වෙනුවෙන් පින් දහම් කිරීමට සුනිල් දැරූ උත්සාහය සෑම විටම සුමට වූයේ නැත. රත්නපුර නගරයට පැමිණෙන ජනතාවගේ පිපාසය නිවීම සඳහා සිය බිරියට පින් පිණිස පින් තාලියක් ඉදිකිරීමේ අරමුණින් ඔහු කලක් මුදල් එකතු කළේය. එලෙස රුපියල් තිස් අටදහසක පමණ මුදලක් ඔහු සතුව තිබියදී මත්ද්‍රව්‍ය ලෝලීන් පිරිසක් ඔහුව ත්‍රීරෝද රථයක නංවාගෙන ගොස්, ඔහුගේ හිසට තදබල ලෙස පහර දී එම මුදල කොල්ල කා අතරමඟ දමා ගොස් තිබුණි. එම පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සුනිල්, සුවය ලැබීමෙන් පසුව ද සිය අරමුණ අත් නොහැර යළිත් සිඟමන් යදිමින් මෙම රෝද පුටුව මිල දී ගැනීම සඳහා මුදල් එක්රැස් කළේය.
සිය බිරිය වෙනුවෙන් කළ මෙම පරිත්‍යාගය පිළිබඳව එච්. සුනිල් මහතා සිය හඬ අවදි කළේ මෙලෙසිනි.
"මේ රෝද පුටුව මම මිලට ගත්තේ රුපියල දෙක වගේ ලැබෙන මුදල් එකතු කරලා. මම හරියට කන්නෙවත් නැතිව මේ දේ කළේ. මට හරි සතුටුයි අද. මම අද ඒ රෝද පුටුව කලවාන රෝහලට මගේ බිරිය වෙනුවෙන් පරිත්‍යාග කළා. මම මුනි අම්මට ගොඩක් ආදරය කළා. ඇය මාව දාලා සදහටම මෙලොවින් යන්න ගියා. දාන උයලා දෙන්න විදියක් නැහැ පාරේ ඉන්න නිසා. ඒ නිසා මේ වගේ දේවල් මම ඇය වෙනුවෙන් කරනවා."
මෙම පුණ්‍ය කර්මයෙන් පසු සිඟමන් යැදීමෙන් සමුගැනීමට තීරණය කර ඇති ඔහු, තමන්ට පහර දී මුදල් කොල්ල කෑ පිරිස පිළිබඳව ද කිසිදු වෛරයක් සිතේ තබාගෙන නොමැත. "ආයේ මම මේ රස්සාව කරන්නේ නැහැ. කොහේ හරි පන්සලකට හරි නිවාසයකට හරි යන්න බලාපොරොත්තු වෙනවා. මම එක පාරක් රත්නපුර නගරයට එන මිනිසුන්ට වතුර බොන්න පින්තාලියක් හදන්න සල්ලි එකතු කළා. ඒක කුඩු ගහන පිරිසක් මට ගහලා ගත්තා. කමක් නැහැ මහත්තයෝ මට ඒ අය ගැන වෛරයක් නැහැ," යැයි ඔහු පැවසීය.