වේල්සයේ කුමරු සහ කුමරියට අයත් නෝෆොක් ප්‍රදේශයේ පිහිටි ඇන්මර් හෝල් (Anmer Hall) ග්‍රාමීය නිවහනට අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්බේනියානු සංක්‍රමණිකයන් බවට වාර්තා වන මෙම සැකකරුවන් දෙදෙනා, ගෙවල් බිඳීම සහ අනවසරයෙන් ඇතුළු වීම යන සැකය මත අත්අඩංගුවට ගෙන තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවන බව සඳහන් වේ.
සඳුදා පස්වරු 6.00ට ආසන්න වේලාවකදී ඇන්මර් හෝල් පරිශ්‍රයේ සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට කැඳවා තිබේ. ඒ සමඟම ප්‍රදේශය පුරා පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණු අතර ඒ සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් සුනඛයන්, ඩ්‍රෝන යානා සහ ජාතික පොලිස් ගුවන් සේවයට අයත් හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇත. නැගෙනහිර මිඩ්ලන්ඩ්ස් කඳවුරෙන් සඳුදා පස්වරු 6.00න් පසු පිටත් වූ එම හෙලිකොප්ටර් යානය රාත්‍රී 8.45 දක්වා එම ප්‍රදේශයේ රැඳී සිට ආපසු පිටත්ව ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ එහි දැවැන්ත පොලිස් රැකවලක් දක්නට ලැබුණු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇල්බේනියානු ජාතිකයන් බවත්, ඉන් එක් අයෙකු නීතිවිරෝධී ලෙස බ්‍රිතාන්‍යයට ඇතුළු වී සරණාගතභාවය ඉල්ලා සිටි අයෙකු බවත් 'ද සන්' පුවත්පත වාර්තා කර තිබේ. සැකකරුවන් නිවස තුළටම ඇතුළු වී තිබිය හැකි බව ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවලින් පෙන්නුම් කෙරේ. මෙම සිද්ධිය අහම්බෙන් සිදු කළ සොරකම් තැතක් ලෙස සැලකෙන අතර, ඇන්මර් හෝල් යනු රාජකීය නිවහනක් බව සැකකරුවන් නොදැන සිටින්නට ඇතැයි අනුමාන කෙරේ. කෙසේ වෙතත්, විලියම් කුමරු සහ කේට් කුමරිය හිතාමතාම ඉලක්ක කළේද යන්න තහවුරු කර ගැනීම සඳහා සැකකරුවන්ගේ පසුබිම පිළිබඳව කඩිනම් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මුහුණු ආවරණය කරගෙන සිටි බව කියන සැකකරුවන්, නිවසේ සවිකර ඇති සීසීටීවී කැමරා සහ ලේසර් තාක්ෂණය ඇතුළු ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීමත් සමඟ පලා යාමට උත්සාහ කර ඇතැයි විශ්වාස කෙරේ. මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පසුව තවත් තුන්වන පුද්ගලයෙකු පොලිස් දැලෙන් බේරී පලා ගොස් ඇතැයි යන සැකය මත ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
සැන්ඩ්රිංහැම් වතුයායේ පිහිටි නිදන කාමර දහයකින් සමන්විත ඇන්මර් හෝල් මන්දිරය එළිසබෙත් මහ රැජින විසින් විලියම් සහ කේට් යුවළට විවාහ තෑග්ගක් ලෙස ලබා දුන්නකි. සිද්ධිය වන අවස්ථාවේදී විලියම්, කේට් සහ ඔවුන්ගේ දරුවන් වන ජෝර්ජ්, ෂාලට් සහ ලුවී සිට ඇත්තේ වින්ඩ්සර් හි පිහිටි ඔවුන්ගේ ප්‍රධාන නිවහනේය. ඒ අනුව සිද්ධිය වන විට රාජකීය පවුලේ කිසිදු සාමාජිකයෙකු එම නිවසේ නොසිටි බව කෙන්සිංටන් මාලිගය තහවුරු කර තිබේ. රාජකීය පවුල සති අන්තයන් සහ නිවාඩු කාලයන් ගත කිරීම සඳහා නිරන්තරයෙන් මෙම නිවසට පැමිණෙන අතර, කේට් කුමරිය පිළිකා රෝගයට එරෙහිව සටන් කළ සමයේ ඇයට මහත් සැනසීමක් ගෙන දුන් ස්ථානය මෙය බව පැවසේ. ඇයගේ රසායනික චිකිත්සක ප්‍රතිකාර අවසන් වූ බව නිවේදනය කළ ඉතා පෞද්ගලික වීඩියෝ පටය රූගත කරන ලද්දේ ද මෙම නිවහනේදීය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෝෆොක් පොලීසිය ප්‍රකාශ කළේ සැන්ඩ්රිංහැම් වතුයායේ දේපළක සිදු වූ සිදුවීමකට අදාළව ගෙවල් බිඳීමේ සැකය මත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පස්වරු 6.00ට පෙර ලැබුණු සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ වාර්තාවකට අනුව පොලිස් නිලධාරීන් සහ විශේෂිත සම්පත් යොදවා සෝදිසි මෙහෙයුම් සිදු කළ බවත්, සිද්ධිය වන විට එම ස්ථානයේ කිසිවෙකු නොසිටි බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරුවන් දෙදෙනා තවදුරටත් අත්අඩංගුවේ පසුවන අතර විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ. නීතිමය වශයෙන් ගෙවල් බිඳීමේ වරදක් සිදු කිරීම සඳහා යම් පුද්ගලයෙකු සොරකම් කිරීමේ, හානියක් කිරීමේ හෝ අලාභහානි සිදු කිරීමේ සැලැස්මක් ඇතිව ගොඩනැගිල්ලකට අනවසරයෙන් ඇතුළු විය යුතුය.
ඇන්මර් හෝල් අයත් වන ඩර්සිංහැම් (Dersingham) ගම්මානයෙන් පසුගිය වසර පුරාම වාර්තා වී ඇත්තේ එක් ගෙවල් බිඳීමේ සිද්ධියක් පමණි. පදිංචිකරුවන් 4,753 දෙනෙකු වෙසෙන එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත අපරාධ සංඛ්‍යාව 96ක් පමණක් වන අතර එය එම ප්‍රාන්තයේ තුන්වන ආරක්ෂිතම ප්‍රදේශය ලෙස සැලකේ. නිරන්තර පොලිස් රැකවල්, සන්නද්ධ නිලධාරීන් සහ නවීනතම ආරක්ෂක තාක්ෂණය පවතින බැවින් මෙම ප්‍රදේශයේ පිහිටි රාජකීය දේපළක් ඉලක්ක කිරීමට ඉදිරිපත් වන්නේ ඉතා නිර්භීත අයෙකු පමණක් බව ප්රදේශවාසියෙක් පෙන්වා දුන්නේය. නම සඳහන් කිරීමට අකමැති වූ එම ප්‍රදේශවාසියා පැවසුවේ, "රාජකීය දේපළක් තෝරා ගන්න නම් පිස්සෙක් වෙන්නම ඕන. අපි හැම වෙලාවෙම මෙහේ පොලීසිය වාහනවලින් යනවා දකිනවා. විශේෂයෙන්ම රාජකීයයන් ඉන්න වෙලාවට ඒ අතරින් ගොඩක් අය සන්නද්ධයි. නෝෆොක්වල ග්‍රාමීය අපරාධ ඕනෑ තරම් තිබුණත් මේ ප්‍රදේශයට ඒවායින් ලොකු බලපෑමක් නැහැ" යනුවෙනි.
මෙම සිද්ධිය වේල්සයේ කුමරු සහ කුමරිය මුහුණ දුන් නවතම ආරක්ෂක තර්ජනයයි. පසුගිය වසරේදී ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවලදී කෙන්සිංටන් මාලිගයේ පරිශ්‍රයට දෙවරක් අනවසරයෙන් ඇතුළු වූ 39 හැවිරිදි ඩෙරෙක් ඊගන් නැමැත්තා ආරක්ෂිත ස්ථානයකට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා දෙකකට වරද පිළිගැනීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේදී සති 36ක සිර දඬුවමකට නියම විය. එමෙන්ම මීට වසර දෙකකට පෙර විලියම් සහ කේට් යුවළ වින්ඩ්සර් වතුයායේ ඇඩිලේඩ් කොටේජ් නිවහනේ රැඳී සිටියදී ඒ අසල පිහිටි ෂෝ ෆාම් වෙත මුහුණු ආවරණය කරගත් සොරුන් දෙදෙනෙකු කඩා වැදුණහ. මීට අමතරව පසුගිය මැයි මාසයේදී සැන්ඩ්රිංහැම් හි පිහිටි ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ගේ නිවස අසල සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් ද පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.