කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ මගී නිෂ්කාශන පරිශ්‍රය අද (08) දහවල් හදිසි නීතිමය බාධාවකට මුහුණ දුන්නේය. ඒ, විදෙස්ගතව සිට පැමිණි ප්‍රබල දේශපාලනඥයෙකුගේ ගමන් මලු තුළ තිබී ජාතික ආරක්ෂාවට සහ ගුවන් කලාප නීතිවලට ඍජුවම බලපෑම් කළ හැකි අධිතාක්ෂණික උපකරණ තොගයක් රේගු නිලධාරීන්ගේ භාරයට පත්වීමත් සමගිනි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ අද පෙරවරු 11.23ට පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-307 දරන ගුවන් යානයෙනි. ප්‍රභූ පරිශ්‍රයේදී ඔවුන්ගේ ගමන් මලු රේගු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවකට ලක් වූ අතර, එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ඩ්‍රෝන කැමරා 39ක් සහ මයික්‍රෆෝන 16ක් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
මෙවැනි සන්නිවේදන සහ ඩ්‍රෝන උපකරණ තොගයක් නීත්‍යානුකූලව මෙරටට රැගෙන ඒමේදී සහ ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන යාමේදී පූර්ව නිෂ්කාශන සහතික කිහිපයක් අනිවාර්ය වේ. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රය (ICL), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) පූර්ව ආරක්ෂක නිෂ්කාශනය ඒ සඳහා අත්‍යවශ්‍ය බව රේගු නීතියේ දැක්වේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ ඩ්‍රෝන යානා ආනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ද ලබාගෙන නොතිබූ බැවින් අදාළ භාණ්ඩ තොගය රේගු භාරයට ගැනීමට කටයුතු කළ බවයි. අදාළ අනුමැතීන් එම අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කළේ මෙය කිසිදු ආකාරයක නීතිවිරෝධී ජාවාරමක් නොවන බවයි. සිය පෞද්ගලික ව්‍යාපාරික ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම උපකරණ රැගෙන ආ බව පැවසූ මන්ත්‍රීවරයා, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතීන් තමන් සතුව පවතින බවත්, එම අවස්ථාවේ ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතිය පමණක් බවත් ප්‍රකාශ කළේය.
ඉදිරි දිනවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ ලියකියවිලි නිල වශයෙන් ඉදිරිපත් කර භාණ්ඩ තොගය මුදාගැනීමේ එකඟතාව මත, තමන් විසින්ම ඒවා රේගු භාරයේ තබා පැමිණි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව, අවශ්‍ය නීතිමය ලියකියවිලි සනාථ කරන තෙක් මෙම අධිතාක්ෂණික උපකරණ තොගය අඛණ්ඩව රේගු භාරයේ පවතින අතර, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිති.