a-racket-that-turns-millionaires-into-poor-and-sells-land-in-sigiriya

සංචාරක පුරවරයක් මෙන්ම අභය භූමියක් ලෙස ද ප්‍රකට සීගිරිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජය ලබා දී ඇති ඉඩම්, රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කෝටිපතියන් 'දුප්පතුන්' බවට පත්කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් කලක සිට ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. දුප්පතුන්ට බෙදා දීමට ඇති රජයේ ඉඩම් හොර රහසේ කෝටිපතියන් අතට පත්වන ආකාරය සතිඅන්ත පුවත්පතක් අනාවරණය කර තිබේ.




මෙවර අනාවරණය වී ඇත්තේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය, දිගම්පතහ තිනියාකොළ වැව ප්‍රදේශයේ පිහිටි අක්කර දෙකකට අධික ඉඩමක් පැවරීමේ සිද්ධියකි. දිගම්පතහ, කිඹිස්ස ලිපිනයේ පදිංචි යසෝ මැණිකා නැමැති වයෝවෘද්ධ කාන්තාව වෙත රජය මගින් දීමනා පත්‍ර අංක GR /22/6/31922 යටතේ ලබා දී තිබූ මෙම ඉඩම, මීගමුව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික කාන්තාවකට නොමිලේ පවරා දීම සඳහා රාජ්‍ය නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බව තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබාගත් ලියකියවිලිවලින් පෙනී යයි. එම ලේඛනවලට අනුව රෝස් මේරි නැමැති 69 හැවිරිදි එම කාන්තාව සීගිරිය තල්කොටේ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභිනියක ලෙස නිල වශයෙන් තහවුරු කර තිබේ.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී එච්.පී.ඩී.කේ. විජේසිංහ මහතා ලබා දුන් තොරතුරු පත්‍රිකාව ද රැගෙන ඉඩමේ මුල් හිමිකාරිය වූ යසෝ මැණිකා මහත්මිය සොයා ගිය විට දක්නට ලැබුණේ හද කම්පා කරවන දසුනකි. වයෝවෘද්ධ ඇය අසනීප තත්ත්වයෙන් පසු වූ අතර, ඇයගේ ස්වාමිපුරුෂයා අලි පහර දීමකට ලක්ව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ඔත්පළව නිවසේ පසු විය. දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවිත කාලයම කුඩා පැල්පතක ගත කළ මෙම යුවළට රජයේ ඉඩම තවත් අයෙකුට විකිණිය හැකි බව පවසා ඇත්තේ ප්‍රදේශයේ ඉඩම් තැරැව්කරුවෙකි.




"අපි පුංචි පැලක හිටියේ. හැමදාම වැස්සට තෙමෙනවා. ඔය කියන ඉඩම් බ්‍රෝකර් මහත්තයා ඇවිල්ලා ඉඩම විකුණන්න කෙනෙක් ගේනවා කිව්වා. අපි කැමති වුණා. එයාට රුපියල් ලක්ෂ දහයක මුදලක් අවශ්‍යයි කිව්වා. ඒ අනුව කාර් එකකින් නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා කොළවලට අත්සන් කරලා නිවාඩු දවසක ලෝයර් මහත්තයෙක් ඉස්සරහා රුපියල් ලක්ෂ හැත්තෑ පහක මුදලකට අත්සන් කළා. එම අවස්ථාවේම බ්‍රෝකර් මහත්තයා සල්ලිවලින් ලක්ෂ පහළොවක් උදුරගෙන ත්‍රීවීල් එකක නැගලා යන්න ගියා. ඉතිරි සල්ලි ටික මම අරගෙන මහත්තයාට වෙදකම් කරලා ගේ පොඩ්ඩක් හදාගත්තා. ඉඩම දුන්නු කාන්තාව මම අඳුරන්නේ නැහැ. එයා සීගිරියේ තල්කොටේ පදිංචියි කියලා තමා කිව්වා," යැයි යසෝ මැණිකා මහත්මිය සිදු වූ දේ විස්තර කළාය.

රුපියල් ලක්ෂ හැත්තෑ පහකට සිදු වූ බව කියන මෙම ගනුදෙනුව නිල ලේඛනවල සටහන්ව ඇත්තේ අඩු ආදායම්ලාභිනියකට කළ නොමිලේ පැවරීමක් ලෙසය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තල්කොටේ ග්‍රාම නිලධාරී වසමේ සේවය කරන පී.ඒ.ඩී.බී. ඒකනායක මහතා විසින් 2025.05.07 දින ලිඛිතව සනාථ කර ඇති තොරතුරු අනුව, ඉඩමේ ගැනුම්කරු වන 69 හැවිරිදි රෝස් මේරි නැමැති කාන්තාව මාසිකව රුපියල් පහළොස්දහසක පමණ ආදායමක් ලබන, ස්වාමිපුරුෂයා මියගිය, වයස අවුරුදු දහඅටට වැඩි අවිවාහක දරුවන් නැති තැනැත්තියකි. ඇය තල්කොටේ ස්ථිර ගෘහ මූලික අංකයක පදිංචි ධනපාල නැමැති අයගේ නිවසේ පදිංචිව සිටින බව ද එම ලේඛනවල දැක්වේ. ග්‍රාම නිලධාරීවරයා පමණක් නොව, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද ඇය රජයේ ඉඩමක් භුක්ති විඳීමට සුදුසුකම් ඇති අඩු ආදායම්ලාභිනියක බව අත්සන් තබා සහතික කර ඉඩම පවරා තිබීම විශේෂත්වයකි.



නමුත් ග්‍රාම නිලධාරීවරයා ස්ථිර පදිංචිය තහවුරු කළ ධනපාල මහතාගේ නිවසට ගොස් රෝස් මේරි මහත්මිය පිළිබඳව විමසූ විට හෙළි වූයේ හාත්පසින්ම වෙනස් කතාවකි. "අපේ ගෙදර කිසිම කෙනෙක් පදිංචි වෙලා නෑ. දරුවෝ දෙන්නයි මමයි බිරිඳයි පමණයි ජීවත් වෙන්නේ. ඕනෑ නම් ගමේ හැමෝගෙන්ම අහලා බලන්න. අපි ගොවිතැනක් කරලා කුලී වැඩක් කරලා බොහොම අමාරුවෙන් දවස ගෙවන මිනිස්සු. දරුවන්ට උගන්වන්නෙත් බොහොම අමාරුවෙන්. අපේ ගෙදර මෙහෙම පදිංචි කෙනෙක් නැහැ. මේක තනිකරම බොරුවක්," යැයි ධනපාල මහතා පැවසීය.

එම අවස්ථාවේදීම තල්කොටේ ග්‍රාම නිලධාරීවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ධනපාල මහතා වෙත දුරකථනය ලබා දුන් විට, එම නිවසේ කාන්තාවක පදිංචිව සිටි බව තමා දන්නා බවත් ධනපාල ඇයට පදිංචිය ලබා දීමට කැමැත්ත පළ කළ බවත් ග්‍රාම නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඊට උරණ වූ ධනපාල මහතා ව්‍යාජ තොරතුරු ලබා දී ජනතාව මුළා නොකරන ලෙස පැවසීමත් සමඟ ග්‍රාම නිලධාරීවරයා දුරකථනය විසන්ධි කළේය. මඳ වේලාවකට පසු, ඉඩම හිමි කාන්තාවගෙන් රුපියල් ලක්ෂ පහළොවක් ලබාගත් බව කියන ඉඩම් තැරැව්කරු ධනපාල මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා ඇත්තේ, එම කාන්තාව තම නිවසේ පදිංචිව සිටි බවටත් නිවසේ කාමරයක් ඇයට කුලියට දුන් බවටත් පිළිගත් ලිපියක් ලබා දෙන ලෙසය.

ඒ අනුව තැරැව්කරු උපක්‍රමශීලීව නිවසට ගෙන්වා ගැනීමට ධනපාල මහතා කටයුතු කළේය. පැය භාගයකට පමණ පසු ත්‍රීරෝද රථයකින් එහි පැමිණි තැරැව්කරුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී, කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසමින් ඔහු එම ස්ථානයෙන් පිටව ගියේය. පසුව 26 වැනිදා යළිත් තල්කොටේ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගෙන මේ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.එම්. උපේක්ෂා කුමාරි මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ, ඉඩම් පැවරීමේදී සහකාර ප්‍රාදේශීය ලේකම් සහ ජනපද නිලධාරීවරයාගේ සිට පහළ සිටින ග්‍රාම නිලධාරීවරයා දක්වාම ලිඛිතව තොරතුරු ලබාගෙන අවසානයේදී තමාගේ අත්සන යොදන බවය. සෑම නිලධාරියෙකුම සනාථ කර තිබූ බැවින් තමන් ඊට අත්සන් තබා ඉඩම පැවරූ බව ඇය පිළිගත්තාය. කෙසේ වෙතත්, මෙවැනි සිද්ධීන් කිහිපයක් පිළිබඳව පසුව තොරතුරු ලැබීම නිසා ඒ පිළිබඳව වැඩි වශයෙන් සොයා බැලීමට උනන්දු වූ බව සඳහන් කළ ප්‍රාදේශීය ලේකම්වරිය, මෙම සිදුවීම් එකින් එක සූක්ෂ්ම ලෙස පරීක්ෂණයට ලක් කරමින් සිටින බව ද කියා සිටියාය. යම් වරදක් හෝ ව්‍යාජ තොරතුරක් ලබා දී ඇත්නම් ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම්වරයා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම ලිපිගොනු භාර දීමට තමන් පසුබට නොවන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය. (කංචන කුමාර ආරියදාස- ලංකාදීප - ලිපිය ඇසුරිනි)