attorney-general-intervenes-to-resolve-teacher-transfer-issues

එකම පාසලක වසර දහයකට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරුවක් ලබා ගැනීමට බාධාවක් වී ඇති කිලෝමීටර් තිහේ සීමාවේ සිට, ඉදිකිරීම් අවසන් කර තිබියදීත් භාර නොදීම නිසා විනාශ වෙමින් පවතින පාසල් ශ්‍රවණාගාරයක් දක්වා මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගොඩගැසී ඇති ප්‍රායෝගික ගැටලු රැසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි අවධානයට ලක් විය.




අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනිදා රැස් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ගුරු ස්ථාන මාරුවීම්, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, පාසල් දිවා ආහාර වැඩසටහන සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු මෙහි ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබූ බව එම කමිටුව පවසයි.

මෙම සාකච්ඡාවේදී වඩාත් තීරණාත්මක අවධානයක් යොමු වූයේ ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාවලියේ පවතින ප්‍රායෝගික බාධා කෙරෙහිය. ඇතැම් ජාතික පාසල්වල වසර දහයකට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට මාරු වීමට වෙනත් ජාතික පාසල් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කාරක සභාව තීරණය කළේය.




එමෙන්ම ගුරු මාරු මණ්ඩලය පනවා ඇති කිලෝමීටර් තිහක දුර සීමාව හම්බන්තොට, පොළොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු කරන බව මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ අනුව එම දුර සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට ද තීරණය විය. මේ අතර උතුරු පළාතේ පවතින ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය වෙනුවට 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි ද කාරක සභාවේ අවධානය යොමු විය.

ගුරු ස්ථාන මාරු ක්‍රියාවලියට බාධා වන තවත් ප්‍රධාන කරුණක් ලෙස ගුරු සේවා කාලය සම්බන්ධ තොරතුරු ඇතැම් පාසල්වලින් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සහ ගුරු දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු මෙහිදී හඳුනා ගැනිණි. ඒ අනුව අදාළ තොරතුරු වසන් කරන බවට සැක කෙරෙන පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත්, ගුරු දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කර සේවා කාලය නිවැරදිව ගණනය කිරීමටත් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.



පාසල් පද්ධතියේ භෞතික සම්පත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී අඩක් නිමකර අතහැර දමා ඇති ගොඩනැගිලි මෙන්ම වැඩ අවසන් කර තිබියදීත් පාසල් වෙත භාර නොදුන් ගොඩනැගිලි පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඊට කදිම නිදසුනක් විය. එහි ඉදිකිරීම් අවසන් කර භාර නොදීම හේතුවෙන් ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වෙමින් පවතින බව අනාවරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කිරීමට කාරක සභාව තීරණය කළේය.

දිස්ත්‍රික් මට්ටමින් පාසල් සංවර්ධන කටයුතු විමසා බැලීමේදී වවුනියාව දිස්ත්‍රික්කයේ වෙම්බලම්කුලම් සහ නාච්චිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල පවතින අඩුපාඩු සපුරාලීම සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති විසිඑකෙන් ව්‍යාපෘති දොළහක් සඳහා ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබා දීමට ද මෙහිදී තීරණය කර තිබේ.

පෙර පාසල් අධ්‍යාපනය සහ පාසල් දිවා ආහාර වැඩසටහන තුළ පවතින අධීක්ෂණ හිඩැස් ද මෙම රැස්වීමේදී මතු විය. පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් සකස් කර තිබුණ ද එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න අධීක්ෂණය කිරීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම පිළිබඳව සාකච්ඡා වූ අතර, පළාත් සභා සහ අදාළ අමාත්‍යාංශ අතර වගකීම් බෙදී යාම නිසා මතුවන පරිපාලන හා අධීක්ෂණ ගැටලු විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. එමෙන්ම පාසල් සිසුන් සඳහා ලබා දෙන නොමිලේ දිවා ආහාර වැඩසටහනේදී නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකිරීම සහ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු ද මෙහිදී අවධානයට ලක් විය.

මේ අතර පාසල්වල පවතින මානව සම්පත් ගැටලු සම්බන්ධයෙන් අනුකාරක සභාව ලබා දුන් උපදෙස් අනුව සකස් කරන ලද "ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌන උපයෝජනය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විද්වත් කමිටු වාර්තාව" නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙණෙවිය විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවාය. අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ගැටලු සහ ඒවාට ගත යුතු විසඳුම් ඇතුළත් එම වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීම කෙරෙහි කාරක සභාවේ අවධානය යොමු වෙමින් සාකච්ඡාව අවසන් විය.