how-the-priest-who-abuse-the-al-student-who-was-brought-home-from-the-menik-farm-camp-was-imprisoned-for-13-years

යුද පසුබිමකින් පසු සරණාගත කඳවුරක දිවි ගෙවමින්, උසස් පෙළ විභාගය ජය ගැනීමේ අපේක්ෂාවෙන් සිය ඥාති පූජකවරයකුගේ නිවෙසට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියකට සිදු වූ බරපතළ ලිංගික අපරාධය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තීරණාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, අදාළ දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හින්දු පූජකවරයකු වන නිත්‍යනන්දන් මෝහන්රාජ් නමැත්තා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කළ අධිකරණය, ඔහුට වවුනියාව මහාධිකරණය නියම කළ වරදකරු කිරීමේ තීන්දුව සහ දඩ මුදල් තහවුරු කළේය.




මෙම සිදුවීමේ මූලාරම්භය 2011 වසර දක්වා දිව යන්නකි. වවුනියාව ප්‍රදේශයේ පිහිටි මැණික් ෆාම් සරණාගත කඳවුරේ රැඳී සිටි අදාළ සිසුවිය, එම වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානම් වෙමින් සිටියාය. සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ඇය සිය ඥාතියකු ද වූ විත්තිකාර පූජකවරයාගේ මුලතිව්, උදයාර් කට්ටු ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගොස් එහි නතර වී සිට ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

එහෙත් 2011 වසරේ නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී එම නිවෙස තුළදීම විත්තිකරු විසින් ඇය දූෂණය කරනු ලැබීය. ඉන් අනතුරුව උසස් පෙළ විභාගය පවා අතහැර දැමූ දැරිය, එම නිවෙසින් පලා ගොස් යළි තමන් රැඳී සිටි සරණාගත කඳවුර වෙත පැමිණ තිබිණි. සිද්ධියෙන් මාස හයක් පමණ ගත වූ විට ඇය ගැබිනියක බව හෙළි වීමත් සමඟ සිදු කෙරුණු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ, විත්තිකාර පූජකවරයා තමන්ට ලිංගික අතවර කළ බව ඇය අනාවරණය කළාය.




පොලිස් විමර්ශනවලදී ප්‍රකාශයක් ලබා දුන් විත්තිකරු කියා සිටියේ අදාළ ක්‍රියාව දැරියගේ කැමැත්ත මත සිදු වූවක් බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව කැඳවූ ඩී.එන්.ඒ. වාර්තාව මඟින් දැරියගේ කුසේ සිටි දරුවාගේ පියා විත්තිකරු බව ඍජුවම තහවුරු විය. ඒ අනුව නීතිපතිවරයා විසින් වවුනියාව මහාධිකරණය හමුවේ ගොනු කළ අධි චෝදනා දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරු වරදකරු කෙරිණි. වවුනියාව මහාධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත වසර 17ක සිර දඬුවමක්, රුපියල් 5,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙස නියම කළේය.

මහාධිකරණයේ එම තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනය අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ ලෙස විභාග කෙරිණි. විනිසුරු අමල් රණරාජා මහතාගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා, ලිංගික අපරාධ නඩුවකදී 'කැමැත්ත' යන්න අර්ථකථනය විය යුතු ආකාරය පිළිබඳව තියුණු නීතිමය විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.



"කිසියම් බියක් හෝ කම්පනයක් මත යටත් වීමක් හෝ නිහඬව සිටීමක් කැමැත්ත වශයෙන් අර්ථකථනය කළ නොහැකියි. විත්තිකරුගේ ආගමික අධිකාරිය, තර්ජන සහ යුද පසුබිම තුළ ඇති වූ බිය හමුවේ වින්දිතයා අසරණව සිටි බව පැහැදිලියි," යනුවෙන් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

දැරිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවට විත්ති පාර්ශ්වය නැඟූ තර්කය ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය. "ලිංගික අතවරයකට ලක්වූ වින්දිතයකු සමාජ අපවාදයට හෝ ජීවිත තර්ජනවලට ඇති බිය නිසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක්. එම ප්‍රමාදය සාධාරණීකරණය කළ හැකියි. වින්දිතයාගේ සාක්ෂිය විශ්වසනීය නම් එම සාක්ෂිය තහවුරු කිරීමට සෑම අවස්ථාවකම අතිරේක සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ. මෙහිදී දැරිය ගැබ් ගැනීම DNA වාර්තාව මඟින් ලිංගික සංසර්ගය හේතුවෙන් සිදු වූ බව ඍජුවම තහවුරු වී තිබෙනවා," යැයි විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය.

සිද්ධියෙන් පසු දැරිය හැසිරුණු ආකාරය ද විත්තිකරුගේ තර්කය බිඳ හෙළන ප්‍රබල සාක්ෂියක් ලෙස අධිකරණය සැලකිල්ලට ගත්තේය. "මෙම සිද්ධියෙන් පසු වින්දිත දැරිය උසස් පෙළ විභාගය පවා අතහැර විත්තිකරුගේ නිවෙසින් පිටව ගොස් තිබෙනවා. එය ඇයගේ කැමැත්ත මත සිදු වූ ඇසුරක් බවට විත්තිකරු ඉදිරිපත් කළ තර්කයට පටහැනි වූ ප්‍රබල සාක්ෂියක් ලෙස සැලකිය හැකියි. විත්තිකරු ප්‍රකාශ කරන ආකාරයට ඇයගේ කැමැත්ත මත මෙම ක්‍රියාව සිදු වුණේ නම් අතවරයට පත් දැරිය මේ ආකාරයෙන් කටයුතු නොකරන්නට ඉඩ තිබුණා," යනුවෙන් නඩු තීන්දුවේ වැඩිදුරටත් දැක්විණි.

මහාධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී විත්තිකරු වරදකරු කිරීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීරණය නීත්‍යනුකූල බවත්, ඊට මැදිහත් වීමට අපේක්ෂා නොකරන බවත් ප්‍රකාශ කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, ඔහුගේ අභියාචනය ඉවත දැමීය. එහෙත් විත්තිකරුට පෙර වැරදි නොමැති වීම සහ ඔහු පස් දරු පියකු වීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, ඔහුට නියම කර තිබූ වසර 17ක සිර දඬුවම වසර 13ක් දක්වා අඩු කිරීමට අධිකරණය තීරණය කළේය. එම සිර දඬුවම විත්තිකරු වරදකරු කළ දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු බව ද නියෝග කෙරිණි.

මෙම අභියාචනා විභාගයේදී විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.