උපසම්පදාවෙන් වැඩිමහල් භික්ෂුවකට හැර ගිහියකු දැක හුනස්නෙන් නොනැගිටීම භික්ෂු සම්ප්රදායයි. එහෙත් ඉකුත් 18 සහ 19 දිනවල පැවැති රුහුණු විශ්වවිද්‍යාලයේ 33 වැනි උපාධි ප්රදානෝත්සවයේදී ඒ සම්ප්රදාය අබිබවා ගිය සුවිශේෂී සිදුවීමක් ඉතිහාසයට එක් විය.
ඒ, විද්වත් සභාව ඉදිරියේ අසුන්ගෙන සිටි රුහුණු සරසවියේ කුලපති, අග්ගමහා පණ්ඩිත ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් සිය කුලපති අසුනින් නැගිට උපාධි අපේක්ෂිකාවකට උපාධි සහතිකය පිරිනැමීමත් සමඟය.තෙවසරක හෝ සිව්වසරක සිප්සතර හරඹයේ අවසන් ඵලය සරසවි පවුලේ ප්‍රධානයා වන කුලපතිවරයාගේ සුරතින් ලබා ගැනීම සඳහා ගරු ගාම්භීර ලෙස සැරසුණු විද්‍යාර්ථීහු එදින විද්වත් මණ්ඩපය වෙත පැමිණෙමින් සිටියහ. අත්පොළසන් නදින් මුළු සභාවම ගිගුම් දෙද්දී, එක්වරම සියල්ලන්ගේම නෙත් යොමු වූයේ විද්වත් සබය වෙත පැමිණි එක්තරා මානවිකාවක් දෙසටය. ගතින් දුබල වුවද සිතින් හා හදින් නොසැලුණු ඈ අපහසුවෙන් නමුත් දැඩි දිරියකින් යුතුව ඉදිරියට පියවර තැබුවාය. ඈ තමන් සමීපයට පැමිණි සැණින් අකුරැටියේ නන්ද නාහිමියෝ හුනස්නෙන් නැගිට ඒ දිරිය දියණියට උපාධි සහතිකය ප්රදානය කළහ.
ජයවර්ධනපුර සරසවියේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් ඇතුළු භික්ෂූන් දෙතුන් නමක් ජාතික ගීයට නැගිට ආචාරය පුද කර ඇතත්, වෙන කිසිදු භික්ෂුවක් වැඩිමහල් භික්ෂුවකට හැර කිසිදු අවස්ථාවක හුනස්නෙන් නැගිට ආචාර කර නොමැති පසුබිමක නන්ද නාහිමියන්ගේ මෙම ක්‍රියාව කාගේත් අවධානයට ලක් විය.
තමන් අසුනින් නැගිටීමට හේතු වූ කරුණ රුහුණේ කුලපති හිමියෝ පැහැදිලි කළේ මෙලෙසිනි.
‘‘ඇත්තෙන්ම මා අසුනින් නැගිට්ටෙ ඇගේ දිරියට කැපකිරීමට ගෞරව කරන්නයි. ඇයට උදව්වට දෙදෙනෙකු හිටියා. නමුත් මම තනියමයි උපාධිය ගන්න යන්නේ, ඔයාලා එන්න එපා යැයි ඇය ඔවුන්ට කියලා. ඇයට ලියන්න අපහසුයි. ඇයගෙ හඬත් පැහැදිලි නැහැ. එය වැටහෙන්නේ නැහැ හැමෝටම. ඒ නිසා රුහුණු සරසවිය ඇයගෙ වාචික පිළිතුරු වෙනත් කෙනෙකු ලවා ප්‍රශ්න පත්‍රවල ලියන්න අවසර දුන්නා. එහෙමයි ඇය උපාධිය ලිව්වෙ. ඒ අතින් සරසවිය මනුෂ්‍යත්වය පිළිබඳ දුන් ආදර්ශය ඉතා ඉහළ යි. සරසවිය ම පවුලක් හැටියට ඇයට උදව් කළා. කරුණාව දැක්වූවා’’
උන්වහන්සේ එදින දුන් ආදර්ශය සභාවේ සිටි අනෙක් පිරිසටද මහඟු පූර්වාදර්ශයකි. පිරුණු කළේ දිය නොසැලෙන බව අසා තිබුණද, එවැනි පිරුණු කළයක සැබෑ ස්වරූපය රුහුණු සරසවියේ උපාධි උත්සවයේදී දැකගත හැකි විය.
ගිහි ශිෂ්‍යාවකගේ අධිෂ්ඨානය ඉදිරියේ මෙතරම් නිහතමානී වූ අකුරැටියේ නන්ද නාහිමියන් යනු මෙරට ශාස්ත්‍රීය හා ශාසනික ක්ෂේත්රයේ ඉහළම පිළිගැනීමකට පාත්‍ර වූ මහ පඬිවරයෙකි. වැලිවිටියේ සෝරත, බද්දේගම පියරතන, ගනේගම සරණංකර වැනි මහ යතිවරුන් බිහි කළ, වියත් පුරයක් ලෙස ප්‍රකට ගාල්ලේ බද්දේගම අකුරටිය උන්වහන්සේගේ උපන් ගමයි. හිටපු විදුදය පිරිවෙන්පතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත අකුරැටියේ අමරවංස නාහිමිපාණන් වැනි මහ පඬිවරයකුගේ ශිෂ්‍ය පුත්‍රයකු ලෙස කුඩා අවධියේදීම සසුනට එක් වූ උන්වහන්සේ සිය ආචාර්ය පරම්පරාවේ ගෞරවයට හා කීර්තියට පත් ගාල්ල විද්‍යාලෝක පිරිවෙනින් මූලික හා ද්විතීක අධ්‍යාපනය ලැබූහ.
අනතුරුව කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නන්ද හිමියෝ එහි ශිෂ්‍ය ප්‍රජාව අතර නොමැකෙන චරිතයක් බවට පත් වූහ. බද්දේගම සමිත හිමියන් සහ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් වැනි මහ යතිවරු උන්වහන්සේගේ සරසවි සමකාලීනයෝ වූහ. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි දැක්වූ දැඩි කැපවීම නිසාම එවකට විශ්වවිද්‍යාලයේ කාගේත් සම්භාවනාවට පාත්‍ර වූ "චින්තක" සඟරාවේ සංස්කාරකවරයකු වීමේ භාග්‍යයද උන්වහන්සේට හිමි විය.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත් උන්වහන්සේ, පසුව ශාස්ත්‍රපති සහ දර්ශනපති උපාධිද හිමි කර ගත්හ. තායිලන්තයේ චූලංකාර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් නන්ද නාහිමියෝ එංගලන්තයේ මැන්චෙස්ටර් වැනි සරසවිවලද අධ්‍යාපනය හැදෑරූහ.
කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයක් දරමින් සිය අධ්‍යාපන සේවය ඇරඹූ උන්වහන්සේ, අනතුරුව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය ආයතනයේ ආයතනාධිපතිවරයා ලෙස පත් වූහ. සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘවරයකු ලෙස ස්ථිර රාජ්‍ය සේවයට එක්ව, සිය ඉමහත් පරිණතභාවය නිසාම අනුක්රමයෙන් එහි ප්‍රධාන කර්තෘ ධුරය දක්වා ඉහළම තනතුරට පත්වීමටද උන්වහන්සේ සමත් වූහ. පසුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්යායවරයා ලෙස පත් වූ නන්ද නාහිමියෝ දේශීයව මෙන්ම විදේශීය රටවලද එම විශ්වවිද්‍යාලයේ ශාඛා ඇති කරමින් එය ජාත්‍යන්තර ව්‍යාප්තියට සහ පිළිගැනීමට පත් කළහ.
වර්තමානයේ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අමතරව මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අධ්යක්ෂ, ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරාධිපති, මහාවංස සම්පාදක මණ්ඩලයේ සභාපති සහ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උපසභාපති යන තනතුරුද හොබවන උන්වහන්සේ, මියන්මාර් එක්සත් ජනරජයේ අග්ගමහා පණ්ඩිත උපාධියෙන්ද සම්මානිතය.
ඵලබරව නැමෙන කෙත් දුලබ වුවද, ප්‍රාචීන මෙන්ම ප්‍රතිචීන ශික්ෂණයද මොනවට ලද මෙවන් මහ පඬිවරයකු පැසුණු වී කරල් ලෙස නිහතමානීව නැමීම අරුමයක් නොවේ.