there-are-reasons-for-the-opposition-to-raise-the-issue---minister-ananda-says

අයවැය විවාදය අතරතුර ආණ්ඩු පක්ෂය වෙත එල්ල වන විපක්ෂයේ විවේචන සාධනීය විවේචන නොවන බවත්, ඒවා දැඩි වේදනාවකින් සහ භීතියකින් තැතිගත් ස්වරූපයකින් ඉදිරිපත් කරන ඒවා බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අයවැය විවාදයට එක්වෙමින් කථානායකවරයා අමතා ඔහු මේ බව සඳහන් කළේය.




විපක්ෂය මෙලෙස ගෝරනාඩු නගන්නේ ප්‍රධාන කරුණු තුනක් පාදක කරගෙන බව පැවසූ අමාත්‍යවරයා, එහි පළමු හේතුව ලෙස පෙන්වා දුන්නේ දශක ගණනාවක් පුරා මෙරට පාලන බලය රැඳී තිබූ ආකාරය වෙනස් වීමයි. දශක ගණනාවක් තිස්සේ දූෂිත ප්‍රභූ පවුල් කිහිපයක් අතර පැවති පාලන බලය ජනතාවාදී පාලනයක් එනම් ජාතික ජන බලවේගය ආණ්ඩුව අතට පත්වීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස තමන් හඳුනාගන්නා බව ඔහු කීය.

මීට වසර දෙකකට පෙර මෙරට ජනතාව ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම සඳහා තීන්දුවක් ගත් බව සිහිපත් කළ විජේපාල මහතා, එම තීන්දුවෙන් කම්පනයට පත් පිරිස් මේ වන විට කෑගහමින් සහ ගෝරනාඩු දෙමින් සිටින බවට චෝදනා කළේය. කිසිදු සාධනීය විවේචනයකින් තොරව, තමන් අතට හසුවන ඕනෑම දෙයකින් ආණ්ඩු පක්ෂයට පහර දීමට ඔවුන් උත්සාහ කරන බවද ඔහුගේ අදහස විය.




සිය ප්‍රකාශයේ දෙවැනි කාරණය ලෙස අමාත්‍යවරයා මතු කළේ මහජන දේපළ සම්බන්ධ චෝදනාවකි. "දෙවෙනි කාරණය තමා මේ දශක කීපයක් පුරාවටම මේ රටේ මහජනයාගේ දේපළ කොල්ලකාපු දූෂිතයෝ දැන් කලබල වෙලා ඉන්නවා," යැයි ඔහු පැවසීය.

එලෙස කලබලයට පත්ව සිටින දූෂිතයන්ට සාධනීය විවේචනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ විට, ඔවුන් මෙවැනි විවේචන කරමින් ගෝරනාඩු නගන බවත්, අසත්‍ය ප්‍රකාශ සහ සාහසික ප්‍රකාශ ඉදිරිපත් කරන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.