air-quality-drops-islandwide---advice-to-wear-n95-masks

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වසාගෙන පිටතින් මීදුම් ස්වභාවයක් ලෙසින් දිස්වන්නේ සාමාන්‍ය කාලගුණික සුන්දරත්වයක් නොව, වායුගෝලයේ රැඳී ඇති දූෂිත අංශු බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ වායුගෝලයේ ගුණාත්මකභාවයේ පැහැදිලි පහළ බැසීමක් මේ දිනවල වාර්තා වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සහ සංවේදී පිරිස්වලට N95 හෝ KN95 වර්ගයේ මුඛ ආවරණ පළඳින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් දී තිබේ.




මෙම අහිතකර වායු තත්ත්වය නිර්මාණය වී ඇත්තේ දේශීය හේතු මතම නොව, කලාපීය කාලගුණික වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය සහ කැළඹිලි ස්වභාවය හේතුවෙන් කාලගුණික හා සුළං රටාවන්හි වෙනසක් සිදුව ඇති අතර, අන්තර් දේශ සීමා හරහා සිදුවන වාතයේ සංසරණය ඔස්සේ රටින් පිටත සිට දූෂක අංශු ශ්‍රී ලංකාව දෙසට ගසාගෙන ඒම මීට හේතු වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සහ එහි අධ්‍යක්ෂවරයා අනාවරණය කරයි. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වාතයේ පවතින PM10 සහ PM2.5 ඇතුළු අවලම්බිත අංශුමය ද්‍රව්‍යවල සාන්ද්‍රණය ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වය දින කිහිපයක් පුරා ක්‍රමයෙන් වර්ධනය වූ ආකාරය දත්ත මගින් පැහැදිලි වේ. මධ්‍යම පරිසර අධිකාරියට අනුව, 16 වැනිදා උතුර සහ උතුරු මැද පළාත්වල වායුගෝලීය තත්ත්ව දර්ශකය 150ත් 200ත් අතර මට්ටමක පැවති අතර, 17 වැනිදා වන විට එය තවදුරටත් ඉහළ ගොස් උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර යන පළාත්වල වායුගෝලීය තත්ත්ව දර්ශකය 200 සීමාවද ඉක්මවා ගොස් තිබිණි.




මේ අතර කොළඹ නගරයේ වායු දූෂණය ද 17 වැනිදා සෞඛ්‍යයට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබූ බව, ලොව පුරා වාතයේ ගුණාත්මකභාවය සජීවීව නිරීක්ෂණය කරන, විශ්ලේෂණය කරන සහ වායු පිරිපහදු තාක්ෂණය නිෂ්පාදනය කරන ස්විට්සර්ලන්තය පදනම් කරගත් ජාත්‍යන්තර තාක්ෂණික ආයතනයක් වන අයිකියු එයාර් ආයතනය සඳහන් කළේය. එදින කොළඹ වායු තත්ත්ව දර්ශකය 178ක් ලෙස සටහන් වූ අතර, 17 වැනිදා පෙරවරු 8.30ට එම ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව මෙම දූෂණයට ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන තිබුණේ සියුම් අංශුමය ද්‍රව්‍ය හෙවත් PM2.5 ය. එම අවස්ථාවේ කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 94.5ක PM2.5 සාන්ද්‍රණයක් වාර්තා වී තිබූ අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් ලෙස පැවතුණි. ආයතන තුනක දායකත්වයෙන් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වන නිරීක්ෂණ මධ්‍යස්ථාන හතරක් ඔස්සේ ලබාගන්නා මෙම දත්ත, කාලගුණික තත්ත්වයන් සහ දූෂණ මට්ටම් මත දවස පුරා වෙනස් විය හැකි බව ද අයිකියු එයාර් සජීවී නිරීක්ෂණ පිටුව පෙන්වා දෙයි.

ඇමෙරිකානු වායු තත්ත්ව දර්ශක වර්ගීකරණයට අනුව 151 සහ 200 අතර අගයක් සැලකෙන්නේ සෞඛ්‍යයට අහිතකර මට්ටමක් ලෙසිනි. එවැනි තත්ත්වයකට නිරාවරණය වීම සාමාන්‍ය ජනතාවට පවා සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි වුවද, වැඩිම බලපෑමක් එල්ල වන්නේ සංවේදී කණ්ඩායම් වෙතය.



18 වැනිදා වාර්තා වූ වායු ගුණාත්මක දත්තවලින් ද පෙන්නුම් කළේ අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි. ඒ අනුව බත්තරමුල්ල, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, හලාවත, යාපනය, අනුරාධපුරය, අක්කරෙයිපත්තුව සහ ත්‍රිකුණාමලයේ නිලාවේලි යන ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පැවති බව සඳහන් වේ. විශේෂයෙන්ම වව්නියාව සහ දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක දර්ශකය 150 සීමාවට ආසන්න වී තිබූ අතර, තවත් ප්‍රදේශ කිහිපයක එය 100 පමණ මට්ටමක වාර්තා වී තිබිණි. පවතින සුළං රටාවේ වෙනස්වීමත් සමඟ කුරුණෑගල, පුත්තලම, කොළඹ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද වායු දූෂණ මට්ටම ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෙම පසුබිම තුළ කොළඹ පදිංචිකරුවන්ට, විශේෂයෙන්ම කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට දීර්ඝ වේලාවක් එළිමහනේ රැඳී සිටීම හෝ වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරත වීම සීමා කරන ලෙස උපදෙස් දී තිබේ. ශ්වසන රෝගවලින් පෙළෙන හෝ හුස්ම ගැනීමේ අපහසුතා අත්විඳින පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය පූර්වාරක්ෂක පියවර අනුගමනය කළ යුතු බව දැනුම් දී ඇති අතර, අසාත්මිකතාවලින් පීඩාවට පත්වන අයට වායු දූෂකාරක හේතුවෙන් යම් අපහසුතාවක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙස සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින කාලගුණික තත්ත්වයන්හි සිදුවන වෙනස්වීම් මත මෙම වායු දූෂණ තත්ත්වය තවත් දිනක් හෝ දෙකක් පැවතිය හැකි බව බලධාරීන් පවසන අතර, සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එය තවත් දින තුනත් හතරත් අතර කාලයක් පැවතීමට ඉඩ ඇති බවට පුරෝකතනය කළ හැකි බවයි. කෙසේ වෙතත් වායු ගුණාත්මකභාවය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරයි.