accident-while-returning-from-grandmothers-visit---chathurikas-neck-crushed-by-the-wheel-of-a-bus

සිය මිත්තණියගේ ගුණ සමරා දානමය පින්කමකට සහභාගී වීම සඳහා සැමියා සමඟ යතුරුපැදියෙන් යමින් සිටි 38 හැවිරිදි උපාධිධාරිනියක, කෑගල්ල නගරයේදී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ ශෝචනීය පුවතක් වාර්තා විය.




මෙලෙස අකාලයේ දිවියෙන් සමුගත්තේ කළුතර, බුලත්සිංහල, තිමියගොඩැල්ල අංක 240/7 ලිපිනයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ චතුරිකා දිල්රුක්ෂි රත්නායක නමැති තරුණියයි. ඇය විවාහය ලියාපදිංචි කර වසර හතරක් සහ විවාහ මංගල්‍යය පවත්වා වසර දෙකක් ගතවී තිබූ අතර, ඔවුන්ට තවමත් දරුවන් සිටියේ නැත. ඇගේ සැමියා වන වික්‍රමසූරිය ආරච්චිගේ දිලීප සංජීව ප්‍රනාන්දු ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි කෝප්‍රල්වරයෙකි. චතුරිකාගේ පියා සෞදි අරාබියේ රැකියාවක නිරත වන බැවින් ඇය සහ 69 හැවිරිදි මව වන වර්ෂ හැන්නැදිගේ ලක්මිද සොයිසා නිවසේ තනිව සිටින නිසා දිලීප සිය රාජකාරි සඳහා ගොස් තිබුණේ ද බුලත්සිංහල නිවසේ සිටය.

ඉකුත් 02 වැනිදා දිලීපගේ කිරිඅම්මා මියගොස් වසර 10ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ ගම් ප්‍රදේශය වන මහනුවර, කටුගස්තොට, වටපුළුව නිවසේ දානමය පින්කමක් සංවිධානය කර තිබිණි. එදින පෙරවරු 10.00 ට පමණ ගුවන් හමුදා කඳවුරේ සිට බුලත්සිංහල නිවසට පැමිණි දිලීප, පස්වරු 2.00 ට පමණ සිය බිරිඳ ද කැටුව යතුරුපැදියෙන් කටුගස්තොට බලා පිටත් විය.




ඔවුන්ගේ ගමනට අනතුරක් එක්වන්නේ කෑගල්ල උසාවිය හන්දියේදීය. ඉකුත් 03 වැනිදා කෑගල්ල මහ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සිය බිරිඳට අත්වූ ඉරණම පිළිබඳව කෝප්‍රල් දිලීප සංජීව ප්‍රනාන්දු සාක්ෂි ලබා දුන්නේය.

"ගලිගමුව ටවුමට කිට්ටුව පන්සලක් ළඟ බයිසිකලේ නතර කරලා විනාඩි 10ක් විතර ඉඳලා වතුර ටිකක් බීලා අපි ආපසු මහනුවර බලා යන්න පිටත් වුණා. කෑගල්ල ටවුමේ වාහන තදබදයක් තිබුණා. මම බයිසිකලේ ටිකෙන් ටික ඉස්සරහට යනකොට බස් එකක් ඇවිත් බයිසිකලේ හැප්පුවා," යනුවෙන් ඔහු කියා සිටියේය.



පළමු ගැටීමෙන් පසු ඔහු යතුරුපැදිය තරමක් ඉදිරියට ගෙන ඇතත්, නැවතත් පැමිණි එම පෞද්ගලික මගී බස් රථය දෙවන වතාවටත් යතුරුපැදියේ ගැටී තිබේ. ඉන් යතුරුපැදිය ඔහුගේ වම් පසට පෙරළී ගොස් ඔහු ඊට යට වී ඇත.

"මම බයිසිකලයට යට වෙලා ඉන්නකොට කවුද ඇවිල්ලා බයිසිකලේ ඉස්සුවා. පස්සේ මම නැඟිටලා චතුරිකා කෝ කියලා බැලුවා. ඒ බලනකොට බයිසිකලේ පිටිපස්සේ තිබුණු බස් එකේ වම් පැත්තේ ඉදිරි රෝදය චතුරිකාගේ බෙල්ල උඩ තියෙනවා දැක්කා," යැයි තමා දුටු බිහිසුණු දසුන ඔහු විස්තර කළේය.

එම අවස්ථාවේ බස් රථයේ රියැදුරු බස් රථය පසුපසට ගත් බවත්, වහාම ක්‍රියාත්මක වූ දිලීප සිය බිරිඳ ඔසවාගෙන ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට රැගෙන ගිය බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. එහෙත් කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සුළු මොහොතකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම හදිසි මරණ පරීක්ෂණය කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී පැවැත්විණි. මියගිය තරුණියගේ මව ද එහිදී සාක්ෂි ලබා දුන්නාය. කෑගල්ල පොලීසියේ පොලිස් සැරයන් (48639) පුෂ්පකුමාර මහතා විසින් සාක්ෂි මෙහෙයවනු ලැබීය.

කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය මංගල කුමාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද අතර, රිය අනතුරක් හේතුවෙන් උර කුහරයට සිදුව තිබුණු බහුවිධ හානි නිසා සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට එහිදී තීන්දු කෙරිණි.

දානමය පින්කමක් සඳහා තම බිරිඳ ද කැටුව උපන් ගමට යමින් සිටි සැමියාට, අවසානයේදී මරණ පරීක්ෂකවරියගේ නියෝගය මත නිවසට රැගෙන යාමට සිදුවූයේ අවාසනාවන්ත ලෙස තමාට අහිමි වූ ආදරණීය බිරිඳගේ නිසල දේහයයි.

accident-while-returning-from-grandmothers-visit---chathurikas-neck-crushed-by-the-wheel-of-a-bus

accident-while-returning-from-grandmothers-visit---chathurikas-neck-crushed-by-the-wheel-of-a-bus