රුසියානු ග්‍රහණයේ පැවති යුක්රේන නගරයක සිරවී සිටි සිවිල් වැසියන් මුදාගැනීම සඳහා සටන් විරාමයක් ඇති කිරීමට මැදිහත් වීම ඇගයීමට ලක් කරමින්, අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් වෙත යුක්රේනයේ ඉහළම සිවිල් ගෞරව සම්මානයක් පිරිනමා තිබේ.
සමාජය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන කාන්තාවන් උදෙසා පිරිනැමෙන 'ප්‍රින්සස් ඔල්ගා' (Order of Princess Olga) නමැති මෙම සම්මානය, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි විසින් ඇය වෙත ප්රදානය කර ඇත. "අමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් වෙත ප්‍රථම පන්තියේ ප්‍රින්සස් ඔල්ගා සම්මානය පිරිනමන බවට මා මෙයින් නිවේදනය කරමි" යනුවෙන් යුක්රේන ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති ආඥාවක දැක්වේ.
යුක්රේනයට මානුෂීය ආධාර සැපයීම සඳහා මෙන්ම, ක්‍රියාකාරී මානව හිමිකම් සහ පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඇය ලබාදුන් සුවිශේෂී පෞද්ගලික දායකත්වය අදාළ නිවේදනය මගින් ඇගයීමට ලක් කර තිබේ. ආහාර සහ ඖෂධ හිඟයකින් සති ගණනාවක් පුරා දැඩි පීඩාවට පත්ව සිටි 'ඔලෙෂ්කි' (Oleshky) නගරයේ වැසියන්ට ඉන් ආරක්ෂිතව පිටවීම සඳහා අවස්ථාව සලසා දෙමින්, යුක්රේන සහ රුසියානු හමුදා අතර ස්ථානීය සටන් විරාමයක් ඇති කරන බව පසුගිය මාසයේදී මෙලානියා ට්‍රම්ප් විසින් නිවේදනය කරනු ලැබුවාය.
මීට අමතරව, රුසියාව වෙත රැගෙන ගිය යුක්රේනියානු දරුවන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේ ප්රයත්නයන් සඳහා ද ඇය සක්‍රීයව මැදිහත් වී සිටියි. එහි තවත් පියවරක් ලෙස, ඉදිරියේදී වොෂින්ටන් නුවරදී රුසියානු සහ යුක්රේන පාර්ශ්ව දෙකෙහිම නියෝජිතයින් වෙත සත්කාරකත්වය ලබාදීමට සූදානම් බව ද ඇය ප්‍රකාශ කර ඇත.
මෙලානියා ට්‍රම්ප් මෙලෙස යුක්රේනයේ ඉහළම සිවිල් ගෞරවයකින් පිදුම් ලබන පසුබිමක, ඇයගේ සැමියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දීර්ඝ කාලයක සිට නොබෙල් සාම ත්‍යාගය අපේක්ෂාවෙන් පසුවන බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.