අත්‍යවශ්‍ය මූල්‍ය සහ පරිපාලනමය ගනුදෙනු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාවට නැංවීම 2027 අප්‍රේල් 1 වනදා දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මෙම තීරණයත් සමඟ, නොවැම්බර් 1 වනදා සිට බලාත්මක වූ එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා මහජනතාවට තවත් මාස පහක සහන කාලයක් හිමි වේ.
මෙම දීර්ඝ කිරීමට මූලික හේතුව වී ඇත්තේ ටින් සහතික ලබාගැනීමේදී මහජනතාව මුහුණ දුන් දැඩි දුෂ්කරතා සහ බාධාවන්ය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් නිර්මාණය වීම මෙන්ම දෙපාර්තමේන්තුවේ මාර්ගගත (online) ලියාපදිංචි කිරීමේ පද්ධතියේ හටගත් බිඳවැටීම් හා අවහිරතා ද වාර්තා වීම හමුවේ මෙම පියවර ගෙන ඇත.මෙලෙස කල් දැමීම ක්‍රියාත්මක වන ගනුදෙනු අට අතරට
- බැංකු ගිණුම් විවෘත කිරීම,
- ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම,
- වාහන ලියාපදිංචිය,
- වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම,
- ඉඩම් ලියාපදිංචිය,
- ව්‍යාපාර ලියාපදිංචි කිරීම
- සමාගම් කොටස් පැවරීම
- ණයපත් (credit cards) ලබාගැනීම
ඇතුළත් වේ.
මීට පෙරද බැංකු ගිණුම් විවෘත කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම යන සේවාවන් දෙක සඳහා රජය විසින් තාවකාලික සහනයක් හඳුන්වා දී තිබිණි. කෙසේ වෙතත්, නව තීරණයත් සමඟ අදාළ සියලු ගනුදෙනු අට සඳහාම නියමිත කාලසීමාව ලබන වසරේ අප්‍රේල් දක්වා නිල වශයෙන් දීර්ඝ වේ.