
ශ්රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙහි පළ වූ සටහනක් මුල් කරගනිමින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ. "කට අරින්න කලින් දෙපාරක් හිතන්න" යන මැයෙන් පළ කර තිබූ අදාළ ෆේස්බුක් සටහන තර්ජනාත්මක ස්වරූපයක් ගන්නා බව පවසමින් 'Youth for Change' සංවිධානය විසින් 22 වන දා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
පොලිස් නිල ෆේස්බුක් පිටුව හරහා සමාජගත කර තිබූ අදාළ සටහන මගින්, කතා කිරීමට පෙර දෙවරක් සිතන ලෙසත්, පවසන දේ සත්යයක්ද, එය පැවසීම අවශ්යද සහ එම වචනවලින් තවත් කෙනෙකුට අසාධාරණයක් සිදුවෙනවාද යන්න පිළිබඳව ජනතාවගෙන් විමසීමක් කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම සටහනෙහි භාෂිතය සහ අන්තර්ගතය තර්ජනයක් සේ සලකමින් ඊට එරෙහිව මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන තිබේ. පැමිණිල්ල ගොනු කිරීම සඳහා 'Youth for Change' සංවිධානයේ ජාත්යන්තර කටයුතු ලේකම් ශක්ති මාකාවිට, ජාතික කමිටු සාමාජික උදාර සඳරුවන් සහ කොළඹ දිස්ත්රික් කමිටු සාමාජික ටෙරන්ස් රොද්රිගු යන පිරිස කොමිසම වෙත පැමිණ සිටියහ.