අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (05) යළි බන්ධනාගාරගත කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය හමුවට රැගෙන එන ලදී.
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ තවත් නඩු කටයුත්තක් වෙනුවෙන් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීම සඳහා ඒ හිමියන් මෙසේ රැගෙන ආ බව වාර්තා වේ.
2019 වසරේදී උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරනු ලැබීය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට මුලින් නියම වූයේ වසර හයක සිර දඬුවමකි. එයින් මාස නවයක පමණ කාලයක් පමණක් ගත කර තිබියදී, 2019 මැයි මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ, එම සිර දඬුවමෙන් වැඩි කොටසක්ම උන්වහන්සේට යළි ගත කිරීමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව ඥානසාර හිමියන් අතුරුදන්ව සිටි බව වාර්තා වූ අතර, ඒ අනුව සිර දඬුවම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
අනතුරුව, ඊයේ (05) දිනයේදී අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට නියම වූ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළේය.

