දරුවන් බලාගැනීමේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලංකාවට ගෙන්වාගත් උස්බෙකිස්තාන ජාතික තරුණියක බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් නියම කළාය. ඊට අමතරව විත්තිකරුට රුපියල් 100,000ක දඩයක් ද නියම කෙරිණි.
මෙලෙස දඬුවම් ලැබුවේ ලෝරන්ස් නැමැති ත්‍රීරෝද රථ රියැදුරෙකි. විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විනිසුරුවරිය මෙම දඬුවම් නියම කළාය.
2021 ජනවාරි 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ගලදාරි හෝටලයේදී උස්බෙකිස්තාන ජාතික කාන්තාවක ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කුට්ඨනය කිරීමේ චෝදනාව යටතේ, දණ්ඩ නීති සංග්‍රහයේ 360 අ (1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
දීර්ඝ ලෙස පැවති නඩු විභාගයේදී, විත්තිකරු සහ ඔහුගේ උස්බෙකිස්තාන ජාතික බිරිඳ එක්ව දරුවන් බලාගැනීමේ රැකියාවක් ලබා දෙන බව පවසා වින්දිත කාන්තාව ලංකාවට ගෙන්වාගෙන ඇති බව අනාවරණය විය. එම රැකියාව සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් 1500ක වැටුපක් ලබා දෙන බවට ද ඇයට පොරොන්දු වී තිබිණි.
එම පොරොන්දුවලට රැවටී ලංකාවට පැමිණි තරුණියගේ ගමන් බලපත්‍රය විත්තිකරු සිය භාරයේ තබාගෙන, ඇයට තර්ජනය කරමින් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බව නඩු විභාගයේදී හෙළි විය. කොළඹ සහ මීගමුව ප්‍රදේශවල හෝටල්වලදී ඇය මෙලෙස ගණිකා වෘත්තියේ යොදවා ඇති අතර, ඉන් ලැබුණු මුදල් විත්තිකරු ලබාගෙන පාලනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය විය.
2020 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ රුපියල් 40,000ක මුදලකට වින්දිත තරුණිය කොළඹ එක්තරා හෝටලයකදී ලිංගික සේවය සඳහා ලබා දී ඇති බවත්, ඇගෙන් සේවය ලබාගත් පුද්ගලයා රුපියල් 35,000ක් ඇයට ලබා දුන් අතර ඉතිරි රුපියල් 5,000ක මුදල පසුව විත්තිකරු ලෝරන්ස්ගේ බැංකු ගිණුමකට තැන්පත් කර ඇති බවත් බැංකු වාර්තා සහ ඉදිරිපත් වූ සාක්ෂි මගින් තහවුරු වූ බව විනිසුරුවරිය සිය තීන්දුවේ සඳහන් කළාය. එසේම විවිධ අවස්ථාවලදී වින්දිත තරුණිය විවිධ වැරදි සිදු කළ බවට චෝදනා කරමින් විත්තිකරු ඇයට විවිධ දඩ මුදල් පනවා ඇති බව ද නඩු විභාගයේදී හෙළි වූ බව තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.
තමා මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය පිළිබඳව වින්දිත තරුණිය රහසිගතව සිය මවට දැනුම් දී ඇති අතර, ඇගේ මව උස්බෙකිස්තාන පොලීසියට කළ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඇය මුදවාගෙන ආරක්ෂිත නිවසකට යොමු කළ බව ද නඩු විභාගයේදී අනාවරණය විය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීරණය කළ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, ඒ අනුව ඔහුට සිරදඬුවම සහ දඩ මුදල නියම කළාය.

