the-tech-engineer-who-asked-ai-how-to-blind-someone-with-chili-powder-before-the-triple-murder

ඉන්දියාවේ බෙංගලූරු නගරයේ කෘෂ්ණරාජපුර ප්‍රදේශයේ පසුගිය ජුනි මාසයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයේ සැකකරු එම ඝාතන සැලසුම් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කර ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.




වයස අවුරුදු 25ක් වූ තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවකයෙකු වන ජේ. කෙනත් නැමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ තමා සමඟ එක්ව ජීවත් වූ සහකාරිය වන ශ්වේතාගේ පියා, මව සහ සහෝදරිය පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙනි. ඝාතනයට ලක් වූයේ ශ්වේතාගේ පියා වන 55 හැවිරිදි සෝමසුන්දර්, මව වන 50 හැවිරිදි මුත්තුලක්ෂ්මි සහ 20 හැවිරිදි සහෝදරිය සුප්‍රියා ය.

විමර්ශන අතරතුර සැකකරුගේ ලැප්ටොප් පරිගණකයේ සෙවුම් ඉතිහාසය පරීක්ෂා කිරීමේදී, ඔහු ප්‍රහාරයක් එල්ල කිරීමේ ක්‍රම පිළිබඳව AI ගෙන් විමසා ඇති බව පොලීසිය සොයා ගෙන තිබේ. මුළුතැන්ගෙයි පිහියකින් පුද්ගලයන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කරන්නේ කෙසේද, විනාකිරි සහ මිරිස් කුඩු භාවිත කර අයෙකු අන්ධ කරන්නේ කෙසේද, පුද්ගලයන් තිදෙනෙකුගේ දණහිස් කඩන්නේ කෙසේද සහ හුදෙකලා ස්ථානයක නිවසකට ඇතුළු වූ සොරුන් තිදෙනෙකු බිම හෙළන්නේ කෙසේද යන්න වැනි ප්‍රශ්න එම සෙවුම් ඉතිහාසයේ සටහන් වී තිබුණි.




ඊට අමතරව, මීට පෙර ඝාතන සිදු කිරීමට භාවිත කළ ආයුධ පිළිබඳව ද ඔහු AI ගෙන් තොරතුරු ලබා ගෙන ඇත. මිතුරෙකුගේ ණය සම්බන්ධයෙන් බැංකුවලින් නැවත නැවතත් ලැබෙන දුරකථන ඇමතුම් හසුරුවා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සහ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරන ආකාරය ද ඔහු AI ගෙන් විමසා තිබූ බව වාර්තා වේ.

ඝාතනයේ දඬුවම කුමක්ද, නැතහොත් තම මූල්‍ය අපහසුතා ගැන ප්‍රශ්න කළ අය මරා දැමීම නිවැරදිද යන්න කිසිදු අවස්ථාවක කෙනත් AI ගෙන් විමසා නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත. ඔහු නිතිපතා AI සමඟ සංවාදයේ යෙදුණු අතර එය මිතුරෙකු ලෙස සලකා ඇති බවත්, අධ්‍යාපනික වශයෙන් දක්ෂයෙකු වුවද ඔහුගේ ප්‍රායෝගික දැනුම සහ සමාජ හැසිරීම ඉතා දුර්වල මට්ටමක පැවති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



කෙසේ වෙතත්, කෙනත්ගේ ප්‍රශ්නවලට AI ලබා දුන් පිළිතුරු මොනවාද යන්න මෙතෙක් සොයා ගැනීමට පොලීසියට හැකි වී නොමැත. අධිකරණ වෛද්‍ය විද්‍යාගාරය (FSL) ලැප්ටොප් පරිගණකය ඇතුළු භාණ්ඩ පරීක්ෂා කරන අතරතුර, ගූගල් හි දිස්වන පතන කවුළුවෙන් (dropdown) මෙම ප්‍රශ්න හඳුනාගෙන ඇත.

අපරාධ ස්ථානයෙන් විනාකිරි සහ මිරිස් කුඩු මිශ්‍රණයක් අඩංගු බෝතලයක් ද සොයා ගෙන ඇති අතර, එය පරීක්ෂා කිරීම සඳහා FSL වෙත යොමු කළ බව වයිට්ෆීල්ඩ් කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති සෛදුලු අදාවත් ප්‍රකාශ කළේය.

නගර අධිකරණයට ඉදිරිපත් කළ පිටු 2,085කින් යුත් චෝදනා පත්‍රයට අනුව, කෙනත් මෙම ඝාතන තුන සිදු කර ඇත්තේ බැංකු ණය සම්බන්ධයෙන් දැනුම්දීම් ලැබීමෙන් අනතුරුවය. තාක්ෂණ වෘත්තිකයෙකු වන ශ්වේතා වසරක් ඇතුළත කෙනත් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 52ක ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබුණි. ඒ අතර රුපියල් ලක්ෂ 30ක ව්‍යාපාරික ණයක්, බැංකු දෙකකින් ලබා ගත් රුපියල් ලක්ෂ 8ක සහ ලක්ෂ 6ක පුද්ගලික ණය දෙකක් මෙන්ම මිතුරන්, ඥාතීන්, පන්තියේ මිතුරන් සහ සහසේවකයන්ගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 8ක මුදලක් ද ඇතුළත් විය.

තම දියණිය කෙනත්ට උදව් කිරීම සඳහා විශාල මුදලක් ණයට ගෙන ඇති බව දැනගත් ශ්වේතාගේ දෙමාපියන් සහ ඇය අතර ආරවුලක් ඇති වූ අතර, එම මුදල් කුමක් කළේද යන්නත් ණය නොගෙවීම නිසා පවුලට දැනුම්දීම් ලැබෙන්නේ ඇයිද යන්නත් ශ්වේතාගේ පියා කෙනත්ගෙන් ප්‍රශ්න කර තිබේ. එයින් දින කිහිපයකට පසු, ජුනි 22 වැනිදා රාත්‍රියේ සීගෙහල්ලි හි සායි ග්‍රීන් මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔවුන්ගේ නිවසට ඇතුළු වූ කෙනත් සමඟ ඇති වූ ආරවුල ලේ වැගිරීමකින් අවසන් විය.

කෙනත් සෝමසුන්දර්, මුත්තුලක්ෂ්මි සහ සුප්‍රියා යන තිදෙනාට කිහිප වරක් පිහියෙන් ඇන ඇති අතර, එම ප්‍රහාරයෙන් තිදෙනාම මිය ගොස් තිබේ. චෝදනා පත්‍රයට අනුව, අධිකරණයේ සටහන් කළ ප්‍රකාශයේදී ශ්වේතා පවසා ඇත්තේ කෙනත් තම දෙමාපියන්ට සහ සහෝදරියට පහර දෙන අයුරු තමා බලා සිටි බවයි.

the-tech-engineer-who-asked-ai-how-to-blind-someone-with-chili-powder-before-the-triple-murder