හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන ඔක්තෝබර් මස 13 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.
සති තුනකට අධික කාලයක් විදෙස්ගතව සිටි ඇය ඊයේ (05) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියාය. සිංගප්පූරුවේ රැඳී සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය එතැන් සිට ගොඩබිම් මාර්ගයෙන් මලයාසියාවට ගොස්, ක්වාලාලම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත. ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා ඇය විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති "ගෝල්ඩ් රූට්" පහසුකම භාවිත කර තිබුණි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බව පවුලේ සමීපතම ආරංචි මාර්ග මීට පෙර ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් එදින ඇය රටින් පිටවීමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටි අවස්ථාවේදී ද, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබූ බව වාර්තා විය. වෛද්‍ය ප්‍රතිකාර අතරතුර සාප්පු සවාරි යාමටද ඇය අමතක නොකළ අතර එම ඡායාරූප සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.
මේ අතර, ඊයේ ඇය ගුවන් තොටුපළට පැමිණිමට පෙර නීතීඥයින් මාර්ගයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබුණි.
ඇය දිවයිනට පැමිණි දිනයේදීම මෙම ඇප අයදුම්පත අධිකරණයට ඉදිරිපත් වීම අනුව සැලසුම් කර පැමිණීමක් ලෙස හඳුනාගන්නට ලැබෙන අතර ඇයව අත්අඩංගුවට ගන්නට ඊයේ රාත්‍රී පොලිසිය උත්සාහ කරේ නැත, ඔක්තෝබර් 13 වැනිදා FCID හමුවේ පෙනී සිටීමට නියමිත වීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ මෙම විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

