shiranthis-eye-examination-tomorrow-at-the-eye-ward---no-permission-to-take-her-to-nawaloka

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය කේන්ද්‍ර කරගත් ප්‍රභූ පැලැන්තියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මීට සමගාමීව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව දූෂණ නඩුවක් ද අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණි.




අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ, රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ සියයක මුදලක් ලබාගෙන පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමිනි.

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙලෙස පවසා සිටියේය.




“ස්වාමීනී, මගේ සේවා දායිකාවට වයස අවුරුදු 73යි. ඇය රෝගී තත්ත්වයන් කිහිපයකින් පෙළෙනවා. ඇය 2019 සිට හෘද රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබන තැනැත්තියක්. මෙවන් ආකාරයට හෘද රෝගී තත්ත්වයෙන් පසුවන තැනැත්තියක් බන්ධනාගාර ගත කළහොත් ආතතියෙන් මිය යන්න පුළුවන්. මොකද ස්වාමීනී ඇයට හාට් ඇටැක් ඒමේ අවදානමත් තිබෙනවා.

මොකද ඇයගේ ධමනි කිහිපයක් කොලොස්ටර්රෝල්වලින් අවහිර වෙලා තියෙන්නේ. ඒ වගේම 2021 මොළේ ස්කෑන් එකක් කර තිබෙනවා. ඇයට රෝගී තත්ත්වයක් තිබෙනවා. හිටපු ගමන් කරකැවිල්ල ඇති වී ක්ලාන්ත වී වැටෙනවා. එය සිදු වන වේලාවක් කියන්න බැහැ. ඇයගේ කොඳු ඇට පේළියේ ද ආබාධයක් තියෙනවා. ඇයට වෙරිකෝස් තත්ත්වයක්ද තියෙනවා. ඒ නිසා ඇයට ඇයගේ දේවල් තනියෙන් කරන්න බැහැ. මේ වගේ කෙනෙක්ට බන්ධනාගාරයක් තුළ ප්‍රතිකාර කරන්න බැහැ. ඇය ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගෙන සුවය ලබමින් සිටින අයෙක්. මෙම තත්ත්වයන් සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා මගේ සේවාදායිකාවට ඇප ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා.”


අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඇයව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට පෙර ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීම පිණිස ඇයව නවලෝක රෝහල වෙත යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළ බවට මාධ්‍ය රැසක් වාර්තා කර තිබිණි.

එහෙත් එවැනි නියෝගයක් තමන් වෙත ලැබී නොමැති බව බන්ධනාගාර කියයි. ඇයගේ රෝග ලැයිස්තුවේ අක්ෂි රෝගයක් නොතිබූ අතර සිංගප්පූරුවට ගොස් එද්දීද ඇය ආවේ ඇස් අවට ප්ලාස්ටර නැතිවය. නමුත් ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එක් ඇසක් වසා ප්ලාස්ටර් ගසාගෙන තිබුන අතර මාධ්‍ය කිහිපයක් පමණක් වාර්තා කරේ ඊළග දිනයේ ඇය නවලෝක රෝහලේ අක්ෂි රෝග අංශයට යොමු කරන කතාවකි.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ. මූලික වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ද ඇයගෙන් ලබාගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩබලන) ප්‍රසාද් හේමන්ත මහතා පැවසීය. එහිදී ඇය තමන්ගේ අක්ෂි ආබාධයක් ගැන සඳහන් කර තිබෙන අතර මේ නිසා වැඩිදුර පරීක්ෂාව පිණිස ඒ අනුව හෙට දිනයේ ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික අක්ෂි රෝහලේ (ඇස්වාට්ටුව) විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

සාමාන්‍යයෙන් රැඳවියන්ට පුද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නට හැකියාව නැති අතර ඒ නිසා රජයේ රෝහලකට යොමු කර අධිකරණය පිළිගත් වෛද්‍ය වාර්තා අනුව නඩු කටයුතු ගෙනයාම සාමාන්‍ය සිරිතය. ශිරන්ති රාජපක්ෂ මහත්මියව මේ වන විට රඳවා ඇත්තේ රෝගී රැඳවියන් සඳහා වෙන් කර ඇති කාන්තා රඳවා ගැනීමේ අංශයේ බව ද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඇයගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. මේ අතර, මෙම සිද්ධියට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය. නාමල් රාජපක්ෂ හෝ ශිරන්ති රාජපක්ෂ වැරදිකරුවන් වුවහොත් ඔවුන් පක්ෂයේ අය නොවන බවට ප්‍රකාශ කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ශිරන්ති රාජපක්ෂ පක්ෂයේ සාමාජිකාවක් නොවන නමුත් ඇය පක්ෂ නායකයාගේ බිරිඳ ලෙස තමන් ගරු කරන තැනැත්තියක් බවයි. එසේම ජාතික සංවිධායකවරයා වන නාමල් රාජපක්ෂ පක්ෂයේ අයෙකු නොවන බව කිව නොහැකි බවත්, පක්ෂයක් ලෙස තමන් අතින් යම් වැරදි සහගත ක්‍රියාවක් සිදුවී ඇත්නම් ජනතාව ඉදිරියට පැමිණ එය පිළිගැනීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

shiranthis-eye-examination-tomorrow-at-the-eye-ward---no-permission-to-take-her-to-nawaloka

shiranthis-eye-examination-tomorrow-at-the-eye-ward---no-permission-to-take-her-to-nawaloka