
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කර නව නිත්‍ය නියෝග හා රෙගුලාසි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් අද (08) දිනයේම පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරයෙන් තොරව බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය සහ ඒ හරහා සමාජයේ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය සමනය කිරීම මෙන්ම, ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වුණා.
නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙන් පත් කෙරෙන මෙම කමිටුවට සති දෙකක් ඇතුළත අදාළ කරුණු අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදෙනවා. මෙය විශාල නීතියක් සමඟ ගැටෙන්නක් නොවන නිසා සති දෙකක කාලය ප්‍රමාණවත් බව ජනාධිපතිවරයා පැවසුවා. භික්ෂූන් වහන්සේලාට අදාළ වන කොටස් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර සංශෝධනය කිරීමටත් නියමිතයි.
දැනට බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කළ බන්ධනාගාර ආඥා පනත මඟින් බවත්, එය විටින් විට සංශෝධනය වී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම පනතේ 94 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට රෙගුලාසි පැනවීමේ බලය ඇති අතර, 2022 වසරේදීද රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා. ඊට අමතරව අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව බන්ධනාගාර කොමසාරිස්වරයාට බන්ධනාගාර දිනපතා පවත්වාගෙන යාම සඳහා නිත්‍ය නියෝග පැනවිය හැකියි. ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනත, අමාත්‍ය රෙගුලාසි සහ කොමසාරිස් නිත්‍ය නියෝග යන තුන මතයි.
මෙම නීති සකස් කිරීමේදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට අවධානය යොමු කර ඇත්තේ පොදු සිරකරුවන් පිළිබඳව පමණක් බවත්, භික්ෂූන් වහන්සේලා ගැන විශේෂයෙන් සඳහන් වන්නේ 216 වන රෙගුලාසි වගන්තියේ පමණක් බවත් ජනාධිපතිවරයා කියා සිටියා. භික්ෂූන් වහන්සේලා සිරගත වේවි යැයි අපේක්ෂා නොකළ නිසා සමහරවිට ඒ පිළිබඳ අවධානය යොමු නොවන්නට ඇති බවත්, නමුත් අද සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී ඇති බැවින් ඊට ගැළපෙන නීති සම්පාදනයක් අවශ්‍ය බවත් ඔහු පැවසුවා.
රිමාන්ඩ් බන්ධනාගාරගත වූවන් සහ දඬුවම් ලැබූ සිරකරුවන් අතර පවතින වෙනසද ජනාධිපතිවරයා පැහැදිලි කළා. රිමාන්ඩ් භාරයේ සිටින භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයේ වැඩ සිටින්නේත්, අධිකරණයට යොමු කරන්නේත් සිවුර දරාගෙනමයි. කටුනායකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් රිමාන්ඩ් කර සිටින්නේද එලෙස බව ඔහු උදාහරණයක් ලෙස දැක්වූවා. නමුත් වරදකරු වී දඬුවම් ලැබූ විට තත්ත්වය වෙනස් වනවා. ලිහිල් වැඩ සහිත සිර දඬුවමකදී බන්ධනාගාර අධිකාරීගේ එකඟතාවය මත ඇඳුම තෝරාගැනීමේ හැකියාව තිබුණත්, බරපතල වැඩ සහිත සිර දඬුවමකදී බන්ධනාගාරය ලබාදෙන නියමිත ඇඳුම සෑම දෙනාම පැළඳිය යුතු බව නීතියේ සඳහන් වන බව ඔහු පැවසුවා.
මේ වන විට විවිධ චෝදනා මත භික්ෂූන් වහන්සේලා හැටතුන් නමක් පමණ සිරගතව සිටින බවත්, ඒ සියලු දෙනාම බන්ධනාගාර ඇඳුමෙන් වැඩ වසන බවත් ජනාධිපතිවරයා හෙළි කළා.
මහානායක හිමිවරුන්ගේ ලිපිය අනුව ප්‍රශ්නය වඩාත් මතුවී ඇත්තේ සිරගතව සිටින ආකාරයට වඩා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන එන අවස්ථාවලදී බව ජනාධිපතිවරයා පිළිගත්තා. බන්ධනාගාරය විවෘත නැති ස්ථානයක් වුවත්, බැහැරට රැගෙන එන විට එය මාධ්‍යයට සහ පොදු ජනතාවට නිරාවරණය වන බැවින් අධිකරණ කටයුතු සඳහා පමණක් නොව බන්ධනාගාරයෙන් බැහැර වන සෑම අවස්ථාවක්ම සැලකිල්ලට ගත යුතු බව ඔහු කියා සිටියා.
"ඊයේ දිනයේ අපි වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දකින විට, ඒක හැම බෞද්ධයෙකුගේම හදවතට කම්පනයක් ඇති කරනවා. හැබැයි මේ තමයි සිදු වූ ක්‍රියාදාමය," යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළා.
නීති යනු සදාකාලිකව වෙනස් නොවී පවතින දේවල් නොවන බවත්, නව නීති නිරන්තරයෙන් සම්පාදනය වන අතර පවතින නීති නැවත නැවත සංශෝධනය වන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
"සාමාන්‍ය දේශපාලනයේදී කියනවා නීතිය යනු පාලකයාගේ කැමැත්තය කියලා. මම කිසිසේත්ම නීතිය මගේ කැමැත්ත බවට පත් කරගන්න කැමති නෑ. නීතිය මගේ කැමැත්ත බවට පත් වුණොත්, මම කැමති දේ අකැමැති දේ මත තමයි නීතිය අර්ථ නිරූපණය වෙන්නේ. ඒක සුදුසු දෙයක් නෙවෙයි," ජනාධිපතිවරයා අවධාරණය කළා.
නීතිය පවතින පසුබිමක එක් භික්ෂුවක් ඉලක්ක කරගෙන එක් ආකාරයකටත්, අනෙක් භික්ෂූන් වහන්සේලාට තවත් ආකාරයකටත් සලකන ලෙස නියෝග දීම උචිත නොවන බවත්, නීතිය වර්තමානයට ගැළපෙන්නේ නැත්නම් කළ යුත්තේ එය විධිමත්ව සංශෝධනය කරගැනීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සාකච්ඡාව තුළ පවතින නීතිවල ඇති වෙනත් යල් පැන ගිය කරුණු ද මතුවූ බව ජනාධිපතිවරයා කියා සිටියා. නිදහස් වී බන්ධනාගාරයෙන් පිටවන සිරකරුවන්ට ලබාදෙන "මුදාහැරීමේ ඇඳුම" 1947 දී නිර්වචනය කළ යුරෝපීය, සිංහල, දෙමළ සහ මුස්ලිම් ආකෘතීන් අනුව තවමත් පවතින බවත්, එවැනි ඇඳුම් වර්තමානයේ කිසිවෙකු අඳින්නේවත් නැති බවත් ඔහු පෙන්වා දුන්නා. ඒ අනුව භික්ෂූන් වහන්සේලාට අදාළ කරුණු පමණක් නොව පොදුවේ බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග රැසක් වර්තමාන තත්ත්වයට අනුරූපව වෙනස් කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
අධිකරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනපතිගේ ප්‍රකාශය වීඩියෝව මේ සමග පළවේ

