සිරිලිය සවිය ගිණුමට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ. ඒ ඇයගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සුවිශේෂී වෛද්ය නිර්දේශ පදනම් කරගනිමිනි.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව අද (16) විවෘත අධිකරණයට ඉදිරිපත් කෙරුණු විශේෂඥ වෛද්ය මණ්ඩල වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්රධාන කිරීටක ධමනියේ සියයට 80ක අවහිරතාවයක් පවතින බවයි. ඒ අනුව ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට අදාළ වෛද්ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබිණි.
මෙම වෛද්ය නිර්දේශය නීතිය හමුවේ සුවිශේෂී කරුණක් ලෙස සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඇයට ඇප ලබාදීමට තීරණය කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 100ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත ඇයව මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා, ඊට අමතරව ඇයට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.
ජාතික ඉදිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා ඇයව අත්අඩංගුවට ගනු ලැබුවාය.
නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, අදාළ විශේෂඥ වෛද්ය වාර්තාව පරීක්ෂා කර බලා කරුණු දැක්වීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුවේ කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබුණු අතර, ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්රාත්වරයා විසින් මෙම අවසන් නියෝගය ප්රකාශයට පත් කරන ලදී.
විමර්ශනවල ප්රගතිය දෙසැම්බර් මස 11 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස නියෝගයේ සඳහන් වන අතර ඇය එදිනට පෙනී සිටිය යුතුය.
