කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ව්යාජ සමාගම් 89ක් හරහා රුපියල් කෝටි 19,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියනයක) මුදලක් නීතිවිරෝධී ලෙස විද්යුත් ගණන පැවරුම් (TT) ඔස්සේ විදෙස්ගත කිරීමේ මහා පරිමාණ ජාවාරමට සහාය දුන් පෞද්ගලික බැංකු නිලධාරීන් සිවුදෙනෙකුට තුටුපඬුරු ලෙස රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට (මිලියන 12) ආසන්න මුදලක් ලබා දී ඇති බව රහස් පොලිසිය ඊයේ (15) අධිකරණයට අනාවරණය කළේය.
රටේ ආර්ථිකය දැඩි අර්බුදයක පැවති සමයක සිදුකර ඇති මෙම දැවැන්ත මූල්ය අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම කරුණු ඉදිරිපත් කරන ලදී. සිද්ධියට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්රධාන සැකකරු වන ජෙෆ්රි මොහොමඩ්, මොහොමඩ් මුසාම්මිල් මොහොමඩ් ඉන්පාස් සහ ෂේක් මොහිදීන් මොහොමඩ් හතිෆ් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල කැඳවා තිබිණි. ඇප මත මුදාහැර සිටින සැකකාර බැංකු නිලධාරීන් එදින අධිකරණයේ පෙනී නොසිටි බවද වාර්තා විය.
ප්රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා මෙම ජාවාරම සඳහා ඩුබායි රාජ්යයේ පදිංචි පුද්ගලයින්ගේ හැඳුනුම්පත් මෙරටට ගෙන්වාගෙන ඇති අතර, එම නම්වලින් ව්යාජ ලේඛන සකසා මෙරට සමාගම් ලියාපදිංචි කර ඇත. එලෙස පිහිටුවන ලද ව්යාජ සමාගම් 89න් සමාගම් 72ක් මේ වන විට විමර්ශන හරහා හඳුනාගෙන තිබේ. ආනයන අපනයන පාලකවරයාගේ නීති රෙගුලාසි අනුව එක්වරකට ප්රේෂණය කළ හැකි උපරිම මුදල ඇමෙරිකානු ඩොලර් 50,000ක් වුවද, මෙම ව්යාජ සමාගම් ජාලය හරහා අතිවිශාල ඩොලර් ප්රමාණයක් රටින් පිට කිරීමට බැංකු නිලධාරීන්ගේ සහාය හිමිව ඇත.
එලෙස සහාය දැක්වූ බැංකු නිලධාරීන්ට මුලින් අතට මුදල් ලබාදී ඇති අතර, පසුව අවස්ථා කිහිපයකදී ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර තිබේ. රහස් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු අනුව, රුපියල් ලක්ෂ 81ක්, රුපියල් 1,725,000ක්, රුපියල් 961,000ක්, රුපියල් 700,000ක් සහ රුපියල් 600,000ක් ආදී වශයෙන් මෙම මුදල් හුවමාරු වී ඇත. හයවැනි සැකකරු විසින් එක් බැංකු නිලධාරියෙකුට රුපියල් 961,000ක් බැර කර ඇති අතර, තුන්වැනි සැකකාර බැංකු නිලධාරියාට රුපියල් 50,000ක් සහ තවත් අවස්ථා හයකදී රුපියල් 185,000ක්ද බැර කර තිබේ.
මෙම ජාවාරම පිළිබඳ තොරතුරු පොලිසියට අනාවරණය වෙමින් පවතින බව දැනගත් වහාම සැකකරුවන් විසින් තම පරිගණක උපාංගවල තිබූ අදාළ දත්ත සියල්ල මකා දමා, ඉන්වොයිස් පත්රද පුළුස්සා විනාශ කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
මූල්ය විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන මෙම විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින් සැකකරුවන්ට ඇප ලබාදීම ප්රතික්ෂේප කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, ප්රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුට කොළඹ මහාධිකරණයෙන් සහ මීගමුව මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබාදී ඇති බැවින් මෙම සිද්ධියටද ඇප ලබාදෙන ලෙසයි. එහෙත් එම ඉල්ලීම ප්රතික්ෂේප කළ ප්රධාන මහේස්ත්රාත්වරයා අවධාරණය කළේ වෙනත් අධිකරණ මගින් ඇප ලබාදී ඇත්තේ වෙනත් කාරණා සම්බන්ධයෙන් බවත්, මෙම දැවැන්ත විමර්ශනය මෙතෙක් අවසන් වී නොමැති බවත්ය. ඒ අනුව සැකකරුවන් එළඹෙන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
